ශ්‍රී ලංකාවට ලකුණු 42 ක ජයක්.

0
273

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම තරගයේදී පැතුම් නිස්සංක ද්විත්ව ශතකයත් වාර්තා කළ අතර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය එයයි.

තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

කාසියේ වාසිය ජයගත් ඇෆ්ගනිස්ථානය පලමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු.

ඔවුන් දෙදෙනා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ගොඩනැගූ සබඳතාව ලකුණු 182 කි.

අවිශ්ක ලකුණු 88 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 16 කි.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබා ගත් පළමු දිවිත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමට වැඩිම එක්දින් ලකුණු සංඛ්‍යාව රැස් කර තිබුණේ සනත් ජයසූරියයි.

ඔහු 2000 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189 ක් ලබා තිබුණි.

ශ්‍රී ලංකා පන්දුවාර 50 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 381 ක් රැස් කළේය.

එය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් වාර්තා කල තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210 ක් ලබා ගත්තේය.

පන්දු 139 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 20 ක් සහ 6 පහර 8 ක් ඇතුළත් විය.

පැතුම් වාර්තා කළ ලකුණු 210 පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෙකු ඉනිමක වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර එක්දින ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙකු වාර්තා කළ තුන්වැනි වේගවත්ම ද්විත්ව ශතකයයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 382 ක් ඉලක්කයක් සමඟ ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ කලේ රහමනුල්ලා ගුර්බාස් සමග ඊබ්‍රාහිම් සාඩ්‍රන්.

ඔවුන් දෙදෙනාට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නෑ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 5 දැවී ගියේ ලකුණු 55 කටයි.

අනතුරුව අස්මතුල්ලා ඔමර්සායි සහ මොහොමඩ් නබී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 242 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය.

නබී ලකුණු 136 කට දැවී ගියේ ඇෆ්ගනිස්ථාන ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසයි.

ඔමර්සායි සහ නබී ගොඩ නැගූ ලකුණු 242 ක් සබඳතාව වාර්තා වන්නේ 6 වැනි කඩුල්ලට ගොඩනැගුණු දෙවැනි වැඩිම ලකුණු සබඳතාව ලෙසය.

එය ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලකට ගොඩනැගූ දෙවැනි ඉහලම ලකුණු සබඳතාවයයි.

මේ අතර තරගයක් පරාජය වූ කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලකට ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවය මෙය වේ.

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 339 ක් රැස් කළේය.

අස්මතුල්ලා ඔමර්සායි නොදැවී ලකුණු 149 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4 ක් බිද හෙලීය.

තරගයේ වීරයා පැතුම් නිස්සංකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here