ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ මෙරට විකාශණ අයිතිය ස්වාධීන රූපවාහිනියට.

0
560

ශ්‍රී ලංකාවට යළිත් ක්‍රිකට් වසන්තය උදා කරමින් ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා හම්බන්තොට දී ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිවී තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටයි. ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරුණා.

මෙහිදී ගිවිසුම් වලට අත්සන් තැබුණේ ස්වාධීන  රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ,  විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙන්ම එල්පීඑල් තරගාවලියේ දේශීය නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන මීඩියා ෆැක්ට්‍රි ආයතනයේ අධ්‍යක්ෂ කපිල විදානගමගේ සහ අධ්‍යක්ෂ මේනක ලියනගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා කණ්ඩායම් පහක් එක් වනවා. කලම්බු කින්ග්ස්,  ගෝල් ග්ලැඩියේටර්ස්,  කැන්ඩි ටස්කර්ස්,  ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයි කින්ග්ස් එම කණ්ඩායම් පහයි. තරගාවලියේදී කළම්බු කින්ග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජලෝ මැතිවුස් විසින්. මෙම  කණ්ඩායමට ඉසුරු උදාන,  දිනේෂ් චන්දිමාල්,  දුෂ්‍යමන්ත සමීර,  අෂාන් ප්‍රියංජන හා ඇතුළු දේශීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුලත් කර තිබෙනවා. මෙවර තරගාවලියට එක්වන විදේශීය ක්‍රීඩකයන් අතරින් ප්‍රබලතම ක්‍රීඩකයෙකුම වන ඇන්ඩි රසල් ක්‍රීඩා කරන්නේද කළමුබ් කින්ග්ස් කණ්ඩායමටයි. මන්වේන්ද්‍ර බිස්ලා,  රවින්ද්‍ර පාල්සින්  යන ක්‍රීඩකයින් ද කළම්බු කින්ග්ස් කණ්ඩායම සදහා නම් කර තිබෙනවා.

දඹුල්ල වයි කින්ග්ස් කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත්තේ දසුන් ෂානකටයි. නිරෝෂන් දික්වැල්ල,  උපුල් තරංග,  ඇන්ජලෝ පෙරේරා ඇතුළු ජාතික මට්ටමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා. කාලෝස් බ්‍රැත්වෙට්,  සමිත් පටෙල් සහ පෝල් ස්ටලින් යන ක්‍රීඩකයින් ද දඹුල්ල වයි කින්ග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ නායකත්වය ධනුෂ්ක ගුණතිලකට හිමි වී ඇති අතර භානුක රජපක්ෂ,  අකිල ධනංජය,  මිලින්ද සිරිවර්ධන සහ ලක්ෂාන් සදකැන් යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට එක් කර තිබෙනවා. මෙම කණ්ඩායම නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයින් වන්නේ ෂහිඩ් අෆ්‍රිඩි,  කොලින් ඉංග්‍රම්,  මොහොමඩ් අමීරුයි.

ජැෆ්නා ස්ටර්ලියන් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා දරණ අතර වනිදු හසරංග,  අවිශ්ක ප්‍රනාන්දු,  ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම සංචිතයට එක් කර තිබෙනවා.  ෂොයිබ් මලික්,  උස්මාන් සින්වරි සහ අසීෆ් අලි යන ක්‍රීඩකයින් ජැෆ්නා ස්ටර්ලියන් කණ්ඩායමට එක වන්නේ මෙම කණ්ඩායම නියෝජනය කරන විදේශ ක්‍රීඩකයන් ලෙසින් .

කුසල් ජනිත් පෙරේරා නායකත්වය ලබාදෙන කැන්ඩි ටස්කස් කණ්ඩායම සදහා කුසල් මෙන්ඩිස්,  නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න,  අසේල ගුණරත්න ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්කර තිබෙනවා. විදේශීය ක්‍රීඩකයින් ලෙස මෙම කණ්ඩායමට එක් වන්නේ වහාබ් රියාස් සහ නවීන් උල් හප් පමණයි. මෙවර තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් ලබන 26 වනදා කළම්බු කින්ග්ස් සහ කැන්ඩි ටස්කස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

“කොරෝනා වසංගතය හමුවේ දැඩි මානසික ආතතියකින් සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මේ තරගාවලිය විශාල මානසික සුවයක් ගෙන ඒන බවට සැකයක් නැහැ. එබැවින් අබියෝග මධ්‍යයේ වුවද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය මුල් වී ඒල්.පී.එල්. ක්‍රිකට් වසන්තය රට පුරා ගෙන යන්න දායකත්වය දෙනවා. අපේ මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනිය ඔස්සේ ඒල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය නරඹන්න පුලුවන්. ඒ් වගේම ලක්හඩ හා වසන්තම් එෆ්.එම්. නාලිකාවල විස්තර වරින් වර විකාෂය කරනවා. ස්වාධීන මාධ්‍ය ජාලය හරහා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය නරඹන්න සියලු දෙනාට ආරාධනා කරනවා” යැයි ස්වාධීන මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහන මහතා පැවසීය.

පවතින කොරෝනා වාතාවරණය හේතුවෙන් තරගාවලිය නැරඹීම සදහා කිසිදු ප්‍රේක්ෂකයෙකුට අවස්ථාව නොලැබෙන අතර  ක්‍රීඩාංගනයට ඇතුළු විය හැක්කේ නිරෝධායනයට ලක් කරන ලද තෝරා ගත් පිරිසකට පමණයි. තරගාවලියට එක්වන ක්‍රීඩකයින්,  පුහුණු කරුවන් සහ සහයකයින් මෙන්ම විදේස් මාධ්‍ය වේදීන් ද මේ වනවිටත් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here