ඉතාලි පාපන්දුවට එල්ල වූ දරුණු ‘පා පහර’: පිට පිට තෙවැනි වරටත් ලෝක කුසලානය අහිමි වෙයි!

0
47

ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් නම ලියවා තිබූ ඉතාලියට, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබේ. මෙය හුදෙක් පරාජයක් පමණක් නොව, සිව්වතාවක් ලෝක ශූරයන් වූ ඉතාලි පාපන්දු ලෝලීන්ගේ හදවත් බිඳ දැමූ “දරුණු පා පහරක්” බඳු සිදුවීමකි.

ඓතිහාසික පසුබෑම

1930 වසරේ උරුගුවේ රාජ්‍යයෙන් ඇරඹි ලෝක කුසලාන පාපන්දු ඉතිහාසය තුළ ඉතාලිය සතු වූයේ අභිමානවත් වාර්තාවකි. එහෙත් මෙවර බොස්නියාව සමඟ පැවති තීරණාත්මක සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලැබූ පරාජයත් සමඟ ඔවුන්ට 2026 තරගාවලියට යන දොරටු වැසී ගියේය.

මේ අනුව ඉතාලිය අමිහිරි වාර්තා කිහිපයකට හිමිකම් කියයි:

  • පිට පිට තෙවැනි වරටත්: 2018, 2022 වසරවලට පසුව 2026 ලෝක කුසලානය ද ඉතාලියට අහිමි විය.
  • ලෝක ශූරයෙකුට වූ අකරතැබ්බය: ලෝක ශූරතාවක් දිනා ඇති රටක් පිට පිට තෙවැනි වරටත් සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ පළමු අවස්ථාව මෙයයි.

සංඛ්‍යාලේඛන දෙස බැලූ විට

ඉතාලිය ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්තයෙකු බව ඔවුන්ගේ ජයග්‍රහණ මගින් තහවුරු වේ. ඔවුන් අතීතයේ දැක්වූ දක්ෂතා මෙසේය:

ජයග්‍රහණ වර්ගයවර්ෂය
ලෝක ශූරතා (04)1934, 1938, 1982, 2006
අනු ශූරතා (02)1970, 1994
තෙවැනි ස්ථානය1990

මීට පෙර සහභාගී වූ තරගාවලි 22 ක් තුළ ඉතාලිය 10 වැනි ස්ථානයෙන් පහළට ගොස් තිබුණේ අවස්ථා 3 කදී (1986, 2014, 2022) පමණි. එවන් ප්‍රබල කණ්ඩායමක් මෙලෙස අඛණ්ඩව තරගාවලි තුනකින් ඉවතට විසිවීම ක්‍රීඩා ලෝලීන්ට දැඩි කම්පනයකි.

2026 ලෝක කුසලානයේ වෙනස

ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව එක්ව සත්කාරකත්වය දරන 2026 ලෝක කුසලානය සඳහා මෙවර කණ්ඩායම් 48 ක් සහභාගී වීමට නියමිතය. කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ දැමූ තරගාවලියකට පවා සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම ඉතාලි පාපන්දුවේ කඩාවැටීම මනාව විදහා දක්වන්නකි.

ක්‍රිකට්වලින් සතුටක් – පාපන්දුවෙන් කඳුළක්

ඉතාලි ක්‍රීඩා ඉතිහාසයේ දෛවෝපගත සිදුවීමක් ලෙස, පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඉතාලියට ප්‍රථම වරට අවස්ථාව හිමි විය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එද්දී, තම රටේ ජනප්‍රියතම සහ ප්‍රධානතම ක්‍රීඩාව වන පාපන්දුවෙන් මෙවැනි පසුබෑමකට ලක්වීම ඉතාලි ක්‍රීඩා ලෝලීන්ට දරාගැනීමට අපහසු කරුණක් වී ඇත.

“ඉතිහාසය වෙනස් කළ නොහැකි වුවද, 2026 ලෝක කුසලානය ආරම්භ වීමට තිබියදී ඉතාලිය සිය ඉතිහාසයට අලුතින් එක් කරගත්තේ කීර්ති නාමය පලුදු කරගත් අමිහිරි පරිච්ඡේදයකි.”

(සීවලී එදිරිවීිර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here