ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තෙවැනි ජයග්‍රහණය වාර්තා කරයි.

0
291

අවිෂ්ක ප්‍රනාන්දු සහ තිසර පෙරේරාගේ දැවැන්ත හයේ පහර වලින් සමන්විත වේගවත් පිතිහරඹය හේතුවෙන් කැන්ඩි වොරියර්ස්ට එරෙහිව ඊයේ (08 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

මෙවර තරගාවලියේ තරග 4 කට සහභාගිව සිටින ජැෆ්නා පිල ලබා ගත් තෙවැනි ජයග්‍රහණය ලෙසින් මෙම තරග ජය සනිටුහන් වද්දී කැන්ඩි වොරියර්ස් ලද තෙවැනි පරාජය ලෙසින්ද සටහන් විය.  

එක් පිලකට පන්දුවාර 14 බැගින් සීමා වෙමින් පැවැති මෙම තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක්හඹා ගිය කැන්ඩි වොරියර්ස් පිලට කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි.

තරගය මුළුමනින්ම තමන්ගේ අනසකට නතුකරගත් තිසර සහ අවිෂ්ක ලකුණු 53 බැගින් වාර්තා කර ගත්හ. තෙවැනි කඩුල්ලට එක් වූ දකුණත් වමත් පිතිකරුවන් යුගලය ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩ නංවන ලද්දේ පන්දු 33ක් පමණක් වැය කරමිනි.

මෙහිදී ඔවුන් කෙතරම් වේගයෙන් ලකුණු රැස් කළේද කිවහොත් ජැෆ්නා පළමු ලකුණු 50 වාර්තා කිරීම සඳහා පන්දු 34 ක් වැය කරද්දී ලකුණු 100 සඳහා රැස් කරන ලද ලකුණු 50 සඳහා වැය කර තිබුණේ පන්දු 15 ක් පමණි. ජැෆ්නා කණ්ඩායම රැස් කරන ලද ලකුණු 181 න් ලකුණු 128 ක්ම හයේ සහ හතරේ පහර වලින් වාර්තා වුණු ලකුණු විය. සමස්ථ ඉනිමේ හයේ පහර 16 ක් සහ හතරේ පහර 8 ක් වාර්තාවී තිබුණු අතර ඉන් 7 ක් අවිෂ්කගේද 6 ක් තිසරගේ නම් ඉදිරියෙන්ද සටහන් විය. පන්දු 23 කදී වාර්තා වුණු අවිෂ්කගේ ලකුණු 53 ක ඉනිමට එකම හතරේ පහරක් හෝ ඇතුළත් නොවූ අතර තිසර පෙරේරා හතරේ පහර 2 ක් එල්ල කර තිබුණේය.

කාසියේ වාසිය දිනූ කැන්ඩි වොරියර්ස් නායක ඇන්ජලෝ පෙරේරාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායමේ තෙවැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ක්‍රීඩාංගණ සේවකයින්ගේ දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසින් තරගය මිනිත්තු 106 කට පසුව ආරම්භ කරන ලද්දේ එක් පිලකට පන්දුවාර 14 බැගින් වූ තරගයක් ලෙසිනි. සංදර්ශනය ආරම්භ වූයේ පස්වැනි පන්දුවාරය අවසානයත් සමඟය.

පවර් ප්ලේ පන්දුවාර 6 ට හිමි අවසන් පන්දුවාරය යැවීම සඳහා පැමිණි ටී.එම්. සම්පත්ගේ පළමු පන්දුවට ලකුණක් කරා පැති මාරු කරගත් තිසර පෙරේරා පන්දුවට පහරදීමේ අවස්ථාව අවිෂ්කට ලබා දුන්නේය. ඉන් උපරිම ප්‍රයෝජන ගත් දකුණත් පිතිකරුවා එම පන්දුවාරයේ ඉතිරි පන්දු 5 ටම සංග්‍රහ කරන ලද්දේ පිට පිට හයේ පහර 5 කිනි. එතැන් පටන් සිය වේගවත් පිතිහරඹය නොනවත්වා පවත්වාගෙන ගිය තිසර සහ අවිෂ්ක අතර වූ ලකුණු 50 සම්බන්ධතාව සඳහා පන්දු 17 ක් පමණක් වැය කළහ.

තරගයේ වීරයා – සුරංග ලක්මාල්

ලකුණු සාරාංශය

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 14 කදී කඩුලු 6 ට ලකුණු 181 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 53, තිසර පෙරේරා 53, ටොම් කොලර්කැඩ්මෝර් 14, ෂොයෙබ් මලික් 16*, චතුරංග ද සිල්වා 21, ශිරාස් අහමඩ් 22/3, නිමේෂ් විමුක්ති 17/1, අල් අමීන් හොසේන් 31/1, කමිඳු මෙන්ඩිස් 25/1)

 කැන්ඩි වොරියර්ස් පන්දුවාර 14 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 166 යි – (කෙනාර් ලුවිස් 41, චරිත් අසලංක 42, රොව්මන් පවෙල් 61, ජේඩ්න් සීල්ස් 40/2, චතුරංග ද සිල්වා 32/1, සුරංග ලක්මාල් 25/1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here