”සමහර සිදුවීම් වලට තටු ආවත් හිතන්නට නම් බොහෝ දේ ඉතිරිව ඇත”
ඕස්ට්‍රේලියාව යනු ශ්‍රී ලාංකිකයින්ගේ සිහින දේශයකි. ඕස්ට්‍රේලියාවට වීසා එකක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික සෑම දෙනාගේම උමතුවක් වී හමාරය. නමුත් අපිට අද ඇසීමට ලැබෙන්නේ අමුතුම කතාවකි.
ඕස්ට්‍රේලියානු වීසා ගැන මෙවර පුවත් මවන්නේ ක්‍රීඩා ආයතනකිනි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වීසා අයදුම් කල නාම ලේඛණය පසුගිය දිනවල ඉතා ජනප්‍රිය පුවත් මවන්න සමත් වූවා.
ඒ අතර සුරූපී ටෙලි නිළයන් ද සිටියා. මාධ්‍ය මගින් දිගින් දිගටම විවේචන එල්ල වුව ද ඒ සදහා කිසිදු පියවරක් ගැනීමට නොහැකි වන සේ දැළක් එලා ඇති බව අපට දැනගන්නට ලැබුණි. වංචාවට, දූෂණයට,අක්‍රමිකතාවන්ට එරෙහිව වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි තීරණයක සිට ක්‍රියාකිරීම මහා පරිමාණ මුළ්‍ය ගණුදෙණු සිදුවන ක්‍රීඩා සංගම් හා සම්මේලනවලට දැඩි අතුල් පහරකි.
වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා රටේ ක්‍රීඩාව හා ක්‍රීඩකයා රැක ගැනීම සඳහා සංගම් හා සම්මේලනවල ඩොලර් වලට යට නොවී රටට හා ක්‍රීඩාවට හිතැති අණ පනත් යොදා 2022.12.14 දින අති විශේෂ ගැසට් පත්‍ර 3 ක් නිකුත් කරන ලදි. රටට, ක්‍රීඩාවට, ක්‍රීඩකයාට වඩා තම තනතුරට ගිජු වූ සංගම් හා සම්මේලනයන්හි ඉහළ නිළධාරීන් තම තනතුරු රැක ගැනීම සදහා වහා අධිකරණයේ පිහිට පතන්නට විය. දේශපාලන අත ගැසීම් සිදු වනවා යැයි ජාත්‍යන්තර සම්මේලනවලට ලියන්න පටන් ගන්නා ලදි. රටට කොපමණ ද්‍රෝහි වූවාදැයි කියනවානම් රටේ කීර්තිය, ක්‍රීඩාව, ක්‍රීඩකයාගේ අනාගතය ගැන පවා නොසිතා දේශපාලන අත පෙවීම ලෙස හුවා දක්වා ජාත්‍යන්තර තහනමකට පවා ලක් කිරීමට ඔවුන් පෙළබෙන බව නිරීක්ෂණය විය. මෙරට ක්‍රියාත්මක ක්‍රිඩා සංගම්හි ජාත්‍යන්තර සම්මේලනයෙහි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවල දී ඒ බව තහවුරු වී ඇත.
අධිකරණයට ගොස් මෙල්ල කිරීමට නොහැකි වූ කල, මිලට ගැනීමට ද නොහැකි වූ කළ අමාත්‍යවරයා මෙල්ල කිරීමට කේවට්ටයන් දමා ගැසූ තුරුම්පු අද පත්තු වෙමින් පවතී. අමාත්‍යවරයාගේ දරුවන් දෙදෙනෙකු ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නළු නිළියන්ට, සුරූපිණියන්ට ඕස්ට්‍රේලියානු වීසා ඉල්ලන ලිස්ට් එකකට ඇතුලත් කර ඇති බවට චෝදනා එල්ල විය. මාධ්‍ය හරහා ද දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කෙරිණි.එයට අමාත්‍යවරයා මාධ්‍ය වෙත සෘජුවම පිළිතුරු දී ඇත. එවකට මාගේ උපදේශ ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා මෙම ඉල්ලීම කර ඇති බවත්, ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මත ගැටුමක් බවත් පැවසිය.
ජාතික ක්‍රීඩා සභාව දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ අක්‍රමිකතා පෙන්වා දෙමින් කටයුතු කිරීම මහත් ආන්දෝලාත්මක සිදුවීමක් විය.සුදත් චන්ද්‍රසේකර මහතාම නිර්දේශ කළ ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා සමග පෞද්ගලික ආරවුලක් ඇති කර ගත් නමුත්බ එය පෞද්ගලික ආරවුලකට වඩා ගිය එකක් බවට පෙනි ගියේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වීම මතයි.
කැබිනට් අමාත්‍යවරයෙකුට තම පවුල සමග විදේශ ගත වීමට ක්‍රීකට් ආයතනයේ ලිපි අවශ්‍ය නැත. විශේෂයෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට විදේශ ගත වීමට තුන්වන පාර්ශවයකගේ උදව් අවශ්‍ය වන්නේ නැත. ඔහුගේ එක් දරුවෙක් ඉගෙනුම ලබන්නේ ඔස්ට්‍ර්ලියාවේය. එමෙන්ම ඔහුට ජපානයෙ, අප්‍රිකාවෙ සහ යුරෝපයෙ ව්‍යපාර ජාලයක් හිමි ව තිබෙනවා. දේශපාලනයට පැමිණීමට පෙර සිටම ඔහු එම රටවල සංචාරය කර වීසා ලබාගෙන තියෙනවා, තව ද ඇමරිකාව, එංගලන්තය, ජපානය සහ ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචි ඥාතීන් පිරිසක් අමාත්‍යතුමාට සිටින අතර දරු දෙදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිට පැතීම හාස්‍ය ගෙන දෙන්නක් නොවේද? එය යම් කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් බව හය හතර නොදන්නා දරුවාට පවා වැටහෙනවා ඇත.
සමාජ මාධ්‍ය ලිපියකින් උපුටා ගත්තක් මෙහි සඳහන් කරමි.
” රජවරු වැනි අය ඉතිහාසයේදී වැරදි පුද්ගලයන්ට රැකවරණය සඳහා කඩුව දී නිරපරාදේ නැසී ගිය බව ද වාර්තා වී තිබෙන බව අපි දනිමු.ක්‍රිඩා අමාත්‍යවරයා ද කඩුව දෙන්නට මෙවැනි පිරිසක් සොයා ගෙන සිටින බව අපි බොහෝ කළෙක සිට පෙන්නා දුන්නද, ඔවුන් ප්‍රශස්ති ගයමින් ආවතේව කරමින් ඒවා නොපෙනෙන සේ නොදැනෙන සේ කටයුතු කරමින් සිටිති.නමුත් ඔවුන්ට ඒ වරප්‍රසාදවලට වඩා රහ දේවල් අපේක්ෂාවෙන් සිටින බව ද අපි මීට පෙර ද කියා ඇත්තෙමු. එවැනි රස දන්න ගොදුරකට සමීප විය හැකි බවට යම් ඉඟියක් ලැබුණ විට ඔවුන් කඩුව වනන්නේ ඇමතිගේ ගෙල ගැනවත් නොසිතාය.”
ෂම්මි සිල්වා පෙන්නා දෙන්නේ ක්‍රිකට් ආයතනයට අමාත්‍යංශය විසින් එවූ ලිපිය ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශයේ පමණක් බවය.ඒ කතාවේ ඇත්තේ සමාජ මාධ්‍ය තුළ සැරිසරන ලිපිවලට තටු ලැබුණේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් බවයි. හැබැයි, “තමන් ඉව අල්ලන රහ වෙනුවෙන්” ඒ ලිපිය ප්‍රසිද්ධ කර පැතිරීම විනා අමාත්‍යවරයා ගැන හෝ සිතීම, ඇමතිගේ පැවත්මට යැයි ඔහු වට කර තබා ගෙන සිටින පිරිසට හැඟීමක්නම් නැත.
මුදලට හා බලයට නොනැමෙන අමාත්‍යවරු බිහිවන්නේ කලාතුරකිනි. දූෂණයෙන්, වංචාවෙන්, අක්‍රමිකාතාවලින් තොර වූ පැහැබර ක්‍රීඩාවක අරුණළු වැටෙමින් පවතින මෙවැනි යුගයක එය සුනු විසුනු කර දැමීමට මහා බලවේග ක්‍රියාත්මක වනු ඇත. ක්‍රීඩාව නිවැරදි දිශාවට ගමන් කිරීම අප කාගේත් බලාපොරොත්තුවයි. පුංචි ශ්‍රී ලංකාව ඩන්කන් වයිට්ගේ රිදී පදක්කමින්, සුසන්තිකා ජයසිංහගේ රිදී පදක්කමින්, 1996 ක්‍රිකට් ලෝක කුසළානයෙන් මුළු ලෝකයක් ඉදිරියේ වැජබෙද්දී අපේ හිත්වල නැගුණු ආඩම්බරය, සතුටින් තෙමුණ දෑස් වල දීප්තිය නැවත සිහිනයක් නොවන්නට වග බලා ගැනීම මාධ්‍යවේදීන් ලෙස ජනතාවට අකුරු කරන අපගේත් වගකීමක් වන්නේය.
රංජන් රාමනායක මහතා නිතරම පවසන වදනක් ඇත ”මල්ලි, උන් ඔක්කොම යාළුවෝ” එය සත්‍ය බව පසක් වී හමාරය. වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා ද නිතර පවසන වචනයක් ඇත ”හොරු බලවත්” යන්නයි. එය අපට පසක් වුව ද සත්‍ය යටපත් කර කොලේ වසන මාධ්‍ය ජනතාවට පසක් වීමට ඉඩ නොතබනු ඇත.
දෑස් විවර කරන්න. මම ඔබෙන් විවෘත ආරාධනයක් කිරීමට කැමැත්තෙමි. රටට, ක්‍රීඩාවට, ක්‍රීඩකයාට ආදරේ කරන පුරවැසියෙක්නම් 2022.12.14 දින 2310/26 , 2310/27 , 2310/28 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍ර 03 කියවන්න. එහි නඩු මගට බැස තහනම් කිරීමට තරම් දෙයක් තිබේදැයි පෙන්වා දෙන්න. රට, ක්‍රීඩාව, ක්‍රීඩකයා ගැන නොසිතා තම නිළයට, බලයට ගිජූ ක්‍රීඩකයින්ගේ පිහිටෙන් සැමදා වැජබෙන්නට වෙර දරණ කිසිදු ව්‍යාපාරයක් නොමැතිව මුදල් හම්බ කරන මුදලාලිලාට රිදුණු තැන් ඔබට වැටහෙනු ඇත.
– ප්‍රධාන සංස්කාරක –