ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජාතික ක්‍රීඩා සැළැස්මක් සැකසේ.

0
296

පළමු වතාවට ක්‍රීඩාවට සෘජුවම වගකියන සියළුම පාර්ශව ඒකරාශී කර ජාතික ක්‍රීඩා සැළැස්මක් සැකසීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී සිදු විය.

ඒ අනුව ක්‍රීඩාවේ පාර්ශවකරුවන් ලෙස පැමිණි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් ආණ්ඩුකාරවරු, ජාතික ක්‍රීඩා සභාව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, මහවැලි ක්‍රීඩා අංශය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, ක්‍රීඩා සමාජ, ක්‍රීඩා සංගම් මින් ඉදිරියට ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රීඩා හා තරුණ කටයුතු වලදී ඒකාබද්ධව කටයුතු කිරීමට එකගත්වය පළ කරන ලදි.

පළාත් ක්‍රීඩා සභාව, දිස්ත්‍රික් ක්‍රීඩා සභාව, ප්‍රාදේශීය ක්‍රීඩා කමිටු පිහිටුවීම ඉදිරියේ දී කඩිනමින් සිදු කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය. මින් ඉදිරියට ක්‍රීඩා තරගාවලි පැවැත්වීමේ දී මෙම කමිටු ඒකරාශී වී සාකච්ඡා කිරීම මගින් ක්‍රීඩා අභිවෘද්ධීය වෙනුවෙන් විධිමත්ව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

ලබන වසරේ සිට පොදු එක දින දර්ශණයකට අනුව ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට සියලුම පාර්ශවයන් එකග විය. මෙහිදී ක්‍රීඩකයින්ට සෑම තරගාවලියකටම සහභාගීවීමට අවස්ථාව උදාවේ.

ක්‍රීඩාවේ උන්නතිය සදහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දෙන පහසුකම් එකම දිශාවකට ගලා නොයා සෑම ප්‍රදේශයකටම බෙදී යන සේ සැළසුම් සකස් කිරීම අද දින සාකච්ඡාවේ දී සිදු විය. අධ්‍යපන අමාත්‍යාංශයෙන් සිදු කළ ඉල්ලීම් සියල්ල ඉටු කළ හැකි බව මෙහි දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියේය.

ජාතික ක්‍රීඩා සැළැස්ම සදහා පළාත් සභා හරහා සිදු විය යුතු කටයුතු පිළිබදව ඉදිරියේ දී ඒ ඒ පළාත් සභා බල ප්‍රදේශ වෙත ගොස් එම පළාතේ සියළුම ක්‍රීඩාවට සම්බන්ධ ආයතන හා පුද්ගලයින් හට ආරාධනා කර සාකච්ඡා පැවැත්වීමට මෙහිදී එකගත්වය පළ විය.

ක්‍රීඩාවේ හා තාරුණයයේ සංවර්ධනය උදෙසා වූ ඒකාබද්ධ ප්‍රවේශය සදහා වූ සාකච්ඡාව ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය. ජාතික ක්‍රීඩා සැළැස්ම යථාර්තයක් කරමින් ක්‍රීඩාවට සෘජුවම දායකත්වය දක්වන ආයතන හා පාර්ශව ඉදිරියේ දී ඒකාබද්ධව වැඩ කටයුතු කිරීමට තම සහයෝගය ලබා දෙන බව පැවසීය.

මෙම අවස්තාවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, පළාත් ආණ්ඩුකාරවරු හා ලේකම්වරු,  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් යූ.ඩී.සී.ජයලාල් මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ක්‍රීඩා සංගම් හා සම්මේලනයන්හි සභාපතිවරු හා නිළධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශීකා සුසන්තිකා ජයසිංහ මහත්මිය ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයට සෘජුවම දායක නිළධාරීන් සහභාගී විය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here