සැප්තැම්බර් 5 දින සිට 14 වන දින දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත U17 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය සඳහා සහභාගී වීමට මේ වන විට U17 පාපන්දු කණ්ඩායම් දිවයිනට පැමිණෙමින් සිටියි.
මෙහි සත්කාරකත්වය පළමු වරට ශ්‍රී ලංකාවට හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමත් විය.
“ඉතා දීර්ඝ කාලයකට පසු මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඉදිරියේ දී ජාතික කණ්ඩායම නිර්මාණය කිරීමේදී මෙම තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයින්ට ප්‍රමුඛතාවය දීමට අපට හැකි වේවි.කණිෂ්ඨ කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයින් හදුනාගැනීමට මෙම තරගාවලිය අපිට උපකාරී වනු ඇත. කුසළතා සංවර්ධනය කර ගැනිමට හා ඔවුන්ගේ අනාගත ක්‍රීඩා දිවියට මෙම තරගාවලිය ඉවහල් වනු ඇත. රට මුහුණ දී සිටින මේ දුෂ්කර කාලපරිච්ඡේදයේ දී මෙම තරගාවලියෙන් රටට අමතර විදේශ ආදායමක් උපයා දීමට හැකි වනු ඇත. පාපන්දු ක්‍රීඩාව හරහා රටට යම් විදේශ විනිමය ආදායමක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා,” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව. ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින මෙවර U17 දකුණු ආසියානු පාපන්දු ශූරතාව සඳහා තරග වදිනු ඇත. 2019 වසරේ ඉන්දියාවේ පැවති පසුගිය තරගාවලියේදී ඉන්දියාව ශූරයන් බවට පත් වූ අතර ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයට පත්විය.