තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණැගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව පවත්වනු ලබන පාපැදි තරග මේ මස14 දින උදේ 8.30 ට අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේදී ආරම්භ කිරීමට නියමිතය.
තරගය කිලෝමීටර් 80 ක දුරකින් සමන්විත වන අතර මීරිගම සිට කුරුණැගල දක්වා ගොස් නැවත මීරිගම වෙත ළඟාවීමට සැළැසුම් කර ඇත. කිලෝමීටර් 80 ක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිදහසේ මාර්ග තදබදයකින් තොරව තරග කිරීමට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙය වනවා මෙන්ම ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් තුළ පා පැදි ධාවන තරගයක් පවත්වන ප්‍රථම අවස්ථාව ද මෙයයි.
කණිෂ්ඨ කණ්ඩායම හා සුපිරි කණ්ඩායම ලෙස කාණ්ඩ 02 ක් යටතේ මෙම තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරිම්වල ඉහලින්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 125 දෙනෙකු සුපිරි කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.
වයස අවුරුදු 19 න් පහළ කණිෂ්ඨ කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 ක් පමණ තරග වදින අතර කාණ්ඩ දෙක තරග දෙකක් ලෙස පැවැත් වේ.
සුපිරි කාණ්ඩයේ තරගය පළමුව ආරම්භ කිරිමට නියමිත අතර තරග දෙකෙහිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා බැගින් තෝරාගෙන ජයග්‍රාහකයන්ට ත්‍යාග මුදල් පිරිනැමීමටත් කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව පළමු ස්ථානයට රුපියල් ලක්ෂයක මුදලක්, දෙවන ස්ථානයට 75,000.00 ක මුදලක් ද, තෙවන ස්ථානයට රුපියල් 50,000.00 ක් ද ආදී වශයෙන් පළමු 10 දෙනාට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් පාපැදි ක්‍රීඩාවට ද යම් බලපෑමක් එල්ල ව තිබෙන පසුබිම තුළ ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමට සමගාමීව මෙවැනි පාපැදි ධාවන තරගයක් සංවිධානය කිරීම ශ්‍රී ලංකා පාපැදිලෝලීන්ට නව ජවයක් එක් කරන්නකි.
මේ සඳහා ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක යන පාපැදි කණ්ඩායම් ඇතුලුව ක්‍රීඩා සමාජ 30 ක් පමණ නියෝජනය කරන ක්‍රීඩකයින්ට මෙන්ම ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී සියලුම රේසිං කාණ්ඩයේ තරගකරුවන්ට ද මේ තරග සදහා සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබේ.