ආසියානු කලාපීය ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ලෙස මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කෙරේ.

0
437

මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ආසියානු කලාපීය ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය වෙත ලබාදීම වෙනුවෙන් වූ අව‌බෝධතා ගිවිසුම අත්සන් තැබීම ඊයේ (22) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු විධිමත් කිරීම හා ක්‍රීඩා සංකීර්ණවල පරිපාලන සහ නඩත්තු කටයුතු සිදු කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති දිස්ත්‍රික් සහ පළාත් ක්‍රීඩා සංකීර්ණ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය ඇතිව සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා සංගම් හා සම්මේලන වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පරිපාලන සහ නඩත්තු කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය වෙත ලබාදීම වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය වෙනුවෙන් එහි ලේකම් ආර්.‌ඒ.කේ.ජීවන්ත මහතා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

ආසියානු කලාපීය ජිම්නාස්ටික් සංගමයේ සහය ඇතිව මෙම මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ආසියානු කලාපීය ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

මෙහිදී පසුගිය නොවැම්බර් මස 26 දින සිට 31 දක්වා බංගලාදේශයේ ඩකා නුවර පැවති මධ්‍යම ආසියානු ජිම්නාස්ටික් ශූරතා තරගාවලියට සහභාගී වී තෙවන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් කණ්ඩායමට සහ එම තරගාවලියේ කණිෂ්ඨ ඒකල අංශය නියෝජනය කරමින් තරගයේ රිදී පදක්කම දිනාගත් නදිල නෙත්විරු ක්‍රීඩකයාටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය මහතා විසින් සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපති කෝකිල නිමේෂ්, ජාතික පුහුණුකරු රංජන තරංග, පුහුණුකරු ඇන්ටනී ඩයස්, පරිපාලන ලේකම් උදාර එස්.ලියන්වල යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here