ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කොට පහසු ජයක් අපේක්ෂාවෙන් පන්දු යැවීමේ කාර්යය සඳහා දඹුල්ල ජයන්ස්ට් පිල පැමිණියද ධෛර්යවන්තව පිති හැසිරවීම හේතුවෙන් ජයග්‍රහණයේ සමීපයට හෙවත් ලකුණු 18 ක් දක්වා වූ අඩු අගයකට ජයග්‍රාහී පරතරය අවම කර ගැනීමට කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ඊයේ (08 දා) සමත්වූහ.
වේගවත් ආරම්භයක් ලබා දුන් ටොම් බෙනන් පන්දු 14 කදී ලකුණු 23 ක්ද ඔහු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කුසල් පෙරේරා හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 11 කදී වේගවත් ලකුණු 20 ක්ද රැස් කිරීමට සමත්වූ නිසා පස්වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 52 ක් රැස් කර ගැනීමට කලම්බු ස්ටාර්ස් පිල සමත්විය. එහෙත් ඒ වෙද්දී වේගයෙන් ලකුණු රැස් කරන ලද පිතිකරුවන් යුගලයම තරිඳු රත්නායක සහ ඉම්රාන් තහීර් විසින් දවා ගැනීමට සමත්වූහ.
පළමු තරගයේදී පන්දු 21 කදී ලකුණු 50 ක් ලබා ගනිමින් වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී පිල් සෝල්ට් අද දිනයේදී යළිත් පන්දු 22 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේය. පිල්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 75 රැස් කර ගැනීමට දඹුල්ල ජයන්ස්ට් අවස්ථාව හිමිවිය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ පිල් දැවී යන විට ප්දු 34 කදී ලකුණු 62 ක් ලබා සිටියේය.
11 වැනි පන්දුවාරයේදී සෝල්ට් පිටියෙන් ඉවත් වන විට දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 100 ක් ලෙසින් සනිටුහන්විය. ලකුණු 200 ආසන්නය කරා පැමිණීමට අවස්ථාව උදාවූයේ නායක දසුන් ශානක සහ නජිබුල්ලා සද්‍රාන් එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී රැස් කරන ලද ලකුණු 77 ක සම්බන්ධතාවයයි. ඒ වෙනුවෙන් ලකුණු ලබා ගැනීම වේගවත් කළ නායක දසුන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 25 කදී ලකුණු 38 ක් ද සද්‍රාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 40 කදී ලකුණු 54 ක්ද රැස් කළහ.
තරගයේ වීරයා – පිල් සෝල්ට්
ලකුණු සාරාංශය
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 195 යි – (පිල් සෝල්ට් 62, නජිබුල්ලා සද්‍රාන් 54, දසුන් ශානක 38, නිරෝෂන් දික්වැල්ල 17, චාමික කරුණාරත්න 12*, දුෂ්මන්ත චමීර 34/3, කීමා පෝල් 48/1, අකිල ධනංජය 38/1, සීකුගේ ප්‍රසන්න 21/1)
කලම්බු කිංග්ස් පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී ලකුණු 177 යි – (ටොමි බෙන්ටන් 23, කුසල් පෙරේරා 20, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 16, දිනේෂ් චන්දිමාල් 26, ධනංජය ද සිල්වා 21, කීමා පෝල් 11, සීකුගේ ප්‍රසන්න 17, දුෂ්මන්ත චමීර 15, නුවන් ප්‍රදීප් 50/3, චාමික කරුණාරත්න 46/2, තරිඳු රත්නායක 17/2, ඉම්රාන් තහීර් 36/2, රමේෂ් මෙන්ඩිස් 26/1)