අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී දඬුවම් පහර 3-1කින් ශ්‍රී ලංකාව පරාජයට පත් වේ.
කොළඹ තුරඟ තරග පිටියේ විදුලි ආලෝක ධාරා මැද පැවැති මේ තරගයේ ශ්‍රී ලංකාව සතුව තිබූ ජය අවසන් මිනිත්තුවේදී සිෂෙල්ස් පිල වෙත ජය ලබා දුණි.
ආරම්භයේ සිට කරට කර සටනක් තිබූ මේ තරගයේ පළමු භාගයේදී දෙපිලම සම තත්ත්වයක පසු වූ අතර, තරගයේ 57 වැනි මිනිත්තුවේදී මොහොමඩ් ආකිබ් වාර්තා කළ ගෝලයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය.
අනතුරුව 75 වැනි මිනිත්තුව්දී මේ තරගාවලියේ පාපන්දු තරුවක් බවට පත් වූ වසීම් රසීක් දඬුවම් පහරක් මඟින් ශ්‍රී ලංකාව ඉදිරියේ තුන් වෙනි ගෝලය වාර්තා කිරීමෙන් ජයග්‍රහණය සදහා මාවත විවර විය.
තරගයේ 83 වැනි මිනිතුවේදී සීෂෙල්ස් ගෝලයක් වාර්තා කළ ද ගෝල් 3-2ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියේය.
එහෙත් තරගය නිමා වීමට ආසන්නව 89 වැනි මිනිත්තුවේදී සියල්ල වෙනස් කරමින් සිෂෙල්ස් පිල වාර්තා කළ ගෝලයෙන් තරගය යළිත් සම තත්ත්වයකට පත් වූ අතර, සුළු වේලාවකින් නියමිත කාලය හමාර විය.
තරගයේ තීරණයක් ගැනීම උදෙසා දඬුවම් පහර පිරිනැමූ අතර ශ්‍රී ලංකාව එල්ල කළ මර්වින් හැමිල්ටන්ගේ හා අෂිකූර් රහ්මාන්ගේ පහර දෙකම අසාර්ථක විය.
සීෂෙල්ස් පිලේ පළමු ප්‍රහාරය නායක සුජාන් පෙරේරා වැළැක්වූ අතර, අනෙක් ප්‍රහාර තුනම සාර්ථක වීමෙන් සීෂෙල්ස් ජයග්‍රහණය තහවුරු විය.
වසර ගණනාවක් ජයග්‍රහණ සොයමින් එකතැන කල්මැරූ ශ්‍රී ලංකා පාපන්දු පිලට වසර 21කට පසු ප්‍රධාන ශූරතාවක් දිනා ගැනීමේ ඓතිහාසික අවස්ථාව ඊයේ දිනයේ උදා වී තබූ අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මුල සිටම සැලසුමකින් යුතුව ක්‍රීඩා කළහ.
එහෙත් අවසන් මිනිත්තු කිහිපයේදි එම සැලසුම් සියල්ල බිඳවැටිණි.
වසර 15කට පසුව අන්තර්ජාතික පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයකට පිවිසීමේ අවස්ථාව දුෂ්කර ගමනකින් පසු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ උදා කර ගෙන සිටි බැවින් මේ අවසන් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට බොහෝ වැදගත් විය.
මෙම තරගය නැරඹීමට 5000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගි වූ බව වාර්තා විය.