අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර, අවසන් මහා තරගය අද පස්වරු 7.30 ට.

0
366

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර, අවසන් මහා තරගය අද පස්වරු 7.30 ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතාගේ ප්‍රධානත්වයෙන් රිඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. මේ අවසන් මහා තරගයේ විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් හා තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

වසර 21කට පසු ශ්‍රී ලංකා පාපන්දු පිලට ප්‍රධාන ශූරතාවක් දිනා ගැනීමේ අවස්ථාව අද දිනයේ උදා වී තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිස ඇත්තේ වසර 2006දී කොළඹ සුගතදාස පිටියේ පැවැති දකුණු ආසියා පාපන්දු තරගාවලියේදී වන අතර, එහිදී ගෝල් 1-0කින් පාකිස්තානයට ජය හිමි විය. අනතුරුව සහභාගිවූ කිසිදු තරගාවලියක අවසන් මහා තරගයකට හෝ ශ්‍රී ලංකා පාපන්දු පිල සුදුසුකම් ලබා නැත.

ජයග්‍රාගී ගමනකට ශ්‍රී ලංකා පාපන්දු පිලට අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක් වී තිබේ.

මේ තරගාවලියේ වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වෙමින් දැනට ගෝල් 6ක් රැස් කර වාර්තා පොත අලුත් කර සිටින වසීම් රසීක් කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී. එබැවින් සීෂෙල්ස් ක්‍රීඩකයෝ විසින් වසීම් රසීක්ගේ දක්ෂතා ආවරණය කිරීමට සෑම උත්සාහයක්ම දරනු ඇත.

ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි වසීම් රසීක් ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා ක්‍රිඩකයකු රැස් කළ වැඩිම ගෝල් ප්‍රමාණය වාර්තා කරමින් මාලදිවයින සමඟ තරගය ගෝල් 4-4කින් සම කිරීමේ පුරෝගාමියා විය. මේ තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීම උදෙසා ශ්‍රී ලංකා පිලට ලැබුණු පළමු අවස්ථාව එය විය.

පසුගිය තරගය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී බංග්ලාදේශ පිලේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකුගේ නීතිවිරෝධී ක්‍රියාවෙන් ශ්‍රී ලංකාවට දඬුවම් පහරක් පිරිනැමී එය සාර්ථක කර ගැනීමට වසීම් රසීක් සමත් විය. එසේ නොවන්නට ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය මඟ හැරීම අනිවාර්ය වී තිබිණි.

සීෂෙල්ස් පිල මේ තරගාවලියේ මූලික වටයේදී ගෝල් 1-0කින් ශ්‍රී ලංකාව පරාජය කළ අතර, එය දඬුවම් පහරකින් වාර්තා විණි. එයට පෙර සීෂෙල්ස් පිල බංග්ලාදේශය සමඟ තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කර ගත් අතර, කොම්රෝස්හී මොරෝනී නගරයේ පැවැති අන්තර්ජාතික සුහද පාපන්දු තරගාවලියේදී බුරුන්ඩි රාජ්‍යය වෙතින් ගෝල් 8-1කින් හා කොම්රෝස් පිල වෙතින් ගෝල් 7-1කින් සීෂෙල්ස් පිල දැවැන්ත පරාජයන්ට ලක්ව තිබිණි.

සීෂෙල්ස් පිල ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 199 වැනි ස්ථානයේ හා ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ අද වන විට රැඳී සිටියි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here