විදෙස් ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හොටෙල් ඉදිරිපිට විරෝධතා පවත්වා ජාත්‍යන්තර අවධානය දිනාගනිමින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කඩාකප්පල් කිරීමේ පහත් පෙළේ උත්සාහයක යෙදෙන සමගි ජන බලවේග දේශපාලනඥයින්ගේ සියලු කුමන්ත්‍රණ පරාජය කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
කොවීඩ් 19 වසන්ගත තත්ත්වය හේතුවෙන් කම්පනයට පත්ව සිටින ජනතාව වෙත මානසික සහනයක් ගෙන දීමට නිවසේ සිට රූපවාහිනිය හරහා ක්‍රිකට් තරගාවලියක් නැරඹීමේ අවස්ථාවද අහිමි කිරීමට තරම් විපක්ෂ දේශපාලන කණ්ඩායම පහත් මට්ටමකට වැටී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වසංගතය පාලනය කරමින් සිටින අවස්ථාවේදීත් රටේ ක්‍රීඩාව දියුණු කිරීමට තමන් කැපවීමෙන් කටයුතු කරන බව පෙන්වා දෙන ලදි. රට පුරා ගොස් ක්‍රීඩාංගණ හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිළධාරීන් මුණ ගැසී ඔවුන්ගේ අඩු පාඩු සාකච්ඡා කරමින් මෙරට ක්‍රීඩා කටයුුතු වැඩි දියුණු කිරීමට පියවර රැසක් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බව පැවසීය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්වීමට සියලු අංශයන් එක්වී කැපවී වැඩකටයුතු සිදු කරන මොහොතක සමගි ජන බලවේගයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෙන යන මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් තරයේ හෙළා දකින බවත් දැඩි ලෙස කම්පා වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රට වෙනුවෙන් සිදුකරනු ලබන මෙවැනි තරගාවලි සදහා සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතු බව මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදි.