⚽ පළමු ‘කෝපා සිම්හා’ පාපන්දු කිරුළ Unity Through Football ඇකඩමියට!

0
27

පාපන්දු ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත්, ලංකා ස්පෝර්ට්ස් රයිසින් (LSR) ආයතනය පළමුවරට සංවිධානය කළ “කෝපා සිම්හා” වයස 12න් පහළ පාපන්දු තරගාවලිය ඉතා උද්යෝගිමත් ලෙස නිමාවට පත් විය. තියුණු තරග වට රැසකින් පසු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Unity Through Football Academy ක්‍රීඩකයෝ සමත් වූහ.

🏆 තීරණාත්මක අවසන් සටන

කාගේත් කුතුහලය දනවන සුළු වූ අවසන් මහා තරගයේදී රිනවුන් පාපන්දු ඇකඩමි (Renown FA) කණ්ඩායම සමඟ කරට කර සටනක නිරත වූ Unity Through Football කණ්ඩායම, ගෝල 3-2 ක් ලෙස ජයග්‍රහණය තහවුරු කරගනිමින් මංගල “කෝපා සිම්හා” කුසලානය තමන් සතු කර ගත්තේය.

📊 තරගාවලියේ තොරතුරු බිඳක්:

  • සහභාගීත්වය: දිවයිනේ දක්ෂතම කුඩා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 14ක්.
  • තරග උණුසුම: මුළු තරග 26ක් පුරා දක්ෂතා ප්‍රදර්ශනය විය.
  • තෙවන ස්ථානය: ගේට්වේ පාපන්දු පිල සහ ෆුට්බෝල් ලැබ් ඇකඩමිය අතර පැවති තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජයගත් ගේට්වේ පිල තෙවන ස්ථානය හිමිකර ගත්තේය.

🎢 පෙරළිකාර අවස්ථාවන්

මූලික වටයේදී කිසිදු තරගයක් පරාජය නොවී අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි මැන්චෙස්ටර් යුනයිටඩ් ඇකඩමිය සහ වෙස්ලි විද්‍යාලය කෙරෙහි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටියත්, අවාසනාවන්ත ලෙස එම වටයේදීම ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

🌟 LSR හි නව පිම්ම

මෙරට ක්‍රීඩා ආර්ථිකය දියුණු කිරීමේ දැක්ම ඇතිව තිලක් වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ලංකා ස්පෝර්ට්ස් රයිසින් (LSR) ආයතනය, කලම්බු මැරතන් සහ ටී-කප් පාපැදි සවාරි වැනි දැවැන්ත ජාත්‍යන්තර ඉසව්වලට අමතරව දැන් පාපන්දු ක්‍රීඩාවද සිය වාර්ෂික දින දසුනට එක්කර තිබේ.

මෙම සුවිශේෂී තරගාවලිය සඳහා සිංගප්පූරුවේ ‘සිංගා කප්’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සෙල්වකුමාර් පනීර්සෙල්වම් මහතා ද සිය දායකත්වය ලබා දීම විශේෂත්වයකි.

සටහන: සීවලී එදිරිවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here