ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයද ක්‍රීඩා නොකරනු ඇතැයි සඳහන්ය.
කෙසේ නමුත් තරගාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ආදේශක කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.
ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් ඉදිරිපිට ඊයේ (11) දහවල් සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබීය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය ඍජුව චෝදනා කර ඇත්තේ ටෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්තානය (TTP) නම් ත්‍රස්ත කණ්ඩායමටය. එමෙන්ම ඔවුන්ට සිය භූමියේ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් පාකිස්තානය ඇෆ්ගනිස්තාන රජයටද චෝදනා කර තිබේ.
බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු ආරම්භ කර ඇති අතර, එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මොහ්සින් නක්වි ශ්‍රී ලංකා නිලධාරීන් හමුවී ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවට සහතික කර ඇත.
මෙම සිදුවීමෙන් පසු, 2009 දී ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මත පාකිස්තානයට විදේශීය කණ්ඩායම් පැමිණීම වසර 10කට ආසන්න කාලයක් නතර වූ සිදුවීමක් නැවත මතක් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට රාවල්පින්ඩි හිදී එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ එක්ව නොවැම්බර් 17 සිට පැවැත්වීමට නියමිත තුන්කොන විස්සයි20 තරගාවලියට සූදානම් විය.
නමුත් ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මෙම තරගාවලිය පිළිබඳවද අවිශ්වාසයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තරිදු මධුෂාන්














