කාන්තා එක්දින ලෝක කුසලානයක කුළුදුල් පහස විඳින්නට ඉන්දියාව සමත් වෙයි…

0
84

2007 වර්ෂයේ සහ 2017 වර්ෂයේ කාන්තා එක්දින ලෝක කුසලානයේ අනුශූරියන් ලෙසින් සැහීමකට පත්වීමට සිදුවූ ඉන්දීය කණ්ඩායම මෙවර (2025) කාන්තා එක්දින ලෝක කුසලාන ශූරියන් බවට පත්වීමට සමත් විය.ඒ සිය ප්‍රතිවාදීන් බවට පත්වූ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 52කින් පරාජය කරමින්.ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ ලකුණු 299ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 246ක් පමණයි.

එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායිකා ලෝරා වොල්වාඩ් ලකුණු 101ක් රැස් කළ අතර, කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව සහ අවසන් මහ තරග ද්විත්වයේම ශතක වාර්තා කල පලමු නායිකාව ලෙස ඉතිහාසගත වීමට ඇය සමත් වුනා. ටස්මින් බ්‍රිට්ස් ලකුණු 23ක්ද, සුනේ ලූස් ලකුණු 25ක්ද, සිනාලෝ ජැෆ්ටා ලකුණු 16ක්ද, ඇනරි ඩර්ක්සන් ලකුණු 35ක්ද රැස් කළා.පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දීප්ති ශර්මා කඩුළු 05ක්ද, ෂෆාලි වර්මා කඩුළු 02ක්ද, ශ්‍රී චරණී කඩුළු 01ක්ද ඉන්දියාව වෙනුවෙන් දවාගත්තා.

වර්ෂාව හේතුවෙන් පැය 02ක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම ලකුණු 298ක් රැස් කිරීමට සමත් වුණා.ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙන්.ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ෂෆාලි වර්මා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 87ක්ද, ස්ම්‍රිති මන්දනා ලකුණු 45ක්ද, ජෙමිමා රොඩ්‍රිගස් ලකුණු 24ක්ද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 20ක්ද, අමන්ජොත් කෞර් ලකුණු 12ක්ද. දීප්ති ශර්මා ලකුණු 58ක්ද, රිචා ගෝෂ් ලකුණු 34ක්ද රැස් කළා.පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්, අයබොන්ගා කාකා කඩුළු 03ක්ද, නොන්කුලුලෙකෝ ම්ලාබා, නඩින් ද ක්ලර්ක් සහ ක්ලෝයි ට්‍රයෝන් එක් කඩුල්ල බැඟින් දවාගත්තා.

ලකුණු 52ක විශිෂ්ට ජයග්‍රහණයක් සමඟ 2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ලෝක ශූරියන් වන්නට හර්මන්ප්‍රීට් කවුර් ප්‍රමුඛ ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වුණා.තරඟයේ වීරවරිය ලෙසින් පිත්තෙන් ලකුණු 87ක් සහ පන්දුවෙන් කඩුලු 02ක් ලබා ගත් සෆාලි වර්මා දිනාගත් අතර තරඟාවලියේ වීරවරිය ලෙසින් දීප්ති ෂර්මා සම්මන දිනාගනු ලැබුවා…..

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here