මාස 08 ක් පමණ කාලයක් කණ්ඩායම සමඟ පුහුණුවීම් කටයුතු සිදු කළ පන්දු විදින්නියක් වන තිසාලා අල්ගම ඉවත්කොට පුහුණු තරගයකට හෝ තේරීම් තරග කිසිවකට නොපැමිණි තර්ජිනී සිවලිංගම් ක්‍රීඩිකාව සංචිතයට ඇතුළත් කර මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) දින ක්‍රීඩා අමාත්‍යාංශය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර තේරීම් තරඟ දෙකක් පැවැත්වීමට සිදු වූ අතර, අවසාන තේරීම් තරගය ද දමයන්ති ජයතිලක මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් නෙට්බෝල් තේරීම් කමිටුව යටතේ පැවැත්වුණු අතර එයට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ලේකම් අර්ජුන් ප්‍රනාන්දු මහතා, එහි සාමාජික හෆීස් මාර්සෝ මහතා ද එක් වූ අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න මහතා සහ නෙට්බෝල් ව්‍යාපෘති නිළධාරිනී ලක්මිණී සමරසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුවිය.
ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
ගයන්ජලී අමරවංශ (නායිකා), දුලංගි වන්නිතලක (උපනායිකා), සේමිණි අල්විස්, තර්ජිනී සිවලංගම්, චතුරංගි ජයසූරිය, ගයනි දිසානායක, හසිතා මෙන්ඩිස්, රෂ්මි දිව්‍යාංජලී, දීපිකා දර්ශනී, විදූෂා පෙරේරා, මල්මි හෙට්ටිආරච්චි, භාෂිණී ද සිල්වා.