උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ පිරිමි අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
10 දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත් අතර එය පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරග ඉතිහාසය තුළ ප්‍රදර්ශනය කෙරුණු ඉහළම දක්ෂතාව ලෙස වාර්තා වේ.
කි.ග්‍රෑ. 73ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් ඉන්දික චතුරංග දිසානායක ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 130ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 156ක් ද ලෙස කිලෝග්‍රෑම් 286ක සමස්ත බර එකතුවක් සටහන් කළ අතර මනෝජ් මධුවන්ත විජේසිංහ කිලෝග්‍රෑම් 67ට අඩු බර පන්තිය යටතේ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 113ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 141ක් ද ලෙස කිලෝග්‍රෑම් 254ක බර එකතුවක් වාර්තා කිරීමට සමත් විය.
කිලෝග්‍රෑම් 81ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් චින්තන විදානගේ ස්නැච්ක්‍රමයට කි.ග්‍රෑ. 134ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 166ක් ද ලෙස කිලෝග්‍රෑම් 300ක බර එකතුවක් සටහන් කළ අතර කිලෝග්‍රෑම් 61ට අඩු බර පංතිය යටතේ තරග වදිමින් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 116ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 145ක් ද ලෙස කිලෝග්‍රෑම් 261ක් ඉසිලීමට තිලංක විරාජ් පළඟසිංහ සමත් විය. ඒ අනුව ඔවුන්ට ලෝකඩ පදක්කම් හිමි වූහ.
මේ අතර වාරයේ නව දෙනකුගෙන් සමන්විත වූ කාන්තා කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රීමාලී සමරකෝන් කිලෝග්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තාය. ඒ සඳහා ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 58ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 78ක් ද ලෙස කිලෝග්‍රෑම් 136ක් එස වීමට සමත් වූ අතර තිමාලී හපුතැන්න කිලෝග්‍රෑම් 87ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 83ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 106ක් ද ලෙස කිලෝග්‍රෑම් 189ක බර එකතුවක් සටහන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. කිලෝ ග්‍රෑම් 61ට අඩු බර පන්තිය යටතේ ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 74ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 91ක් ද ලෙස කිලෝග්‍රෑම් 165ක සාර්ථකව උසුලමින් ලෝකඩ පදක්කමට හිමි කම් කියන්නට නදීශානි රාජපක්ෂට හැකි වූවාය.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලද වැඩිම පදක්කම් සංඛ්‍යාව ද මෙවර සටහන් වූයේ පදක්කම් 7ක් ලෙසිනි.