ඉතා තියුණු තරගයකින් පසු ගෝල් ග්ලැඩියේටර්ස් ජය ලබයි.

0
307

දෙවැනි වරට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග 5 න් අතිශයින්ම තියුණු මුහුණුවරක් ගනු ලැබූ තරගය බවට පත්වුණු කැන්ඩි වොරියර්ස් පිලට එරෙහි පැවැති තරගයේ අවසන් පන්දු 18 දී ලකුණු 30 ක් ලබා ගැනීමේ අභියෝගය භාර ගත් ළහිරු මධුශංකගේ වේගවත් ඉනිම හේතුවෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඊයේ (07 දා) රාත්‍රියේ අවස්ථාව උදාවිය.

ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 24 ක් අවශ්‍යව තිබියදී නායක භානුක රාජපක්ෂද දැවී ගියේය. එහෙත් වගකීම කරට ගත් මධුශංක තවත් පන්දු 4 ක් ඉතිරිව තිබියදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල කඩුලු 4 ක ජයක් කරා රැගෙන ගියේය. ඒ වෙනුවෙන් අනෙක් අන්තයෙන් පන්දුවට හර දුන් ධනංජය ලක්ෂාන්ද පන්දු 4 කදී ලකුණු 10 කින් දායකත්වය ලබා දුන්නේය.

ඇලහැර, බකමූණ කණිෂ්ට විදුහලින් පාසල් ගමන ආරම්භ කරමින් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගැනීමට සමත්ව සිටින ළහිරු මධුශංකගේ ඉනිම තරගය නිමා වන විට සටහන් වූයේ පන්දු 13 කදී ලකුණු 22 ක් වශයෙනි. ඇඟට නොදැනී හයේ පහර එල්ල කිරීමට දක්වනු ලබන දක්ෂතාවය හේතුවෙන් ‘ඇලහැර දැවැන්තයා’ ලෙසින් හඳුන්වනු ලබන ළහිරු මධුශංක රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවෙන් 16 ක්ම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් ලබා ගත් ඒවා විය.

ලකුණු 143 ක ඉලක්කය හඹා යෑමේදී  ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී වේගවත් ලකුණු 62 ක් ලබා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා දුන්හ. එහෙත් කමිඳු මෙන්ඩිස් විසින් කුසල් මේන්ඩිස් වත් සචිඳු කොළඹගේ විසින් ධනුෂ්ක ගුණතිලක, මොහොමඩ් හෆීස් සහ සමිට් පටෙල්ගේ කඩුලු දවා ගැනීමට සමත්වීම නිසා තරගය යළිත් කණ පිට පෙරැළිණ.

ඒ වන විටත් තරගයේ පූර්ණ පාලනය කැන්ඩි වොරියරිස් පිල වෙත ලබා දීමට දඟ පන්දු යවන්නන් වුණු සචිඳු කොළඹගේ, චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් සමත්වූහ. වේග පන්දු යවන්නන්ට පහර දීමේදී භානුක රාජපක්ෂ දක්වනු ලබන සුවිශේෂී දක්ෂතාවය නිසා ළහිරු කුමාරගේ සේවය ලබා ගැනීම අවධානම් බව ප්‍රතිවාදී නායක ඇන්ජලෝ පෙරේරා සිහියේ තබා ගත්තේය. එම තත්ත්වය නිසාම තමන් සතු වේග පන්දු යවන්නන් වුණු අල් අමීන් හොසේන් සහ ළහිරු කුමාරට එක් පන්දු වාරය බැගින් යවා නතර කිරීමට කැන්ඩි වොරියර්ස් නායකයාට සිදුවිය.

අවසන් පන්දුවාරය යැවීමේ වගකීම නායක ඇන්ජලෝ පෙරේරාට භාර ගැනීමට සිදුවිය. එහි උපරිම ඵල නෙළාගත් ළහිරු මධුශංක අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරකිනුත් දෙවැනි පන්දුවට හතරේ පහරකිනුත් සංග්‍රහ කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළේය.

හොඳම පිතිකරුවන් දෙදෙනකු වන කෙනාර් ලුවිස් (00) සහ චරිත් අසලංක (06) මුලු ලකුණු සංඛ්‍යාව 16 දී දැවී ගියත් තෙවැනි කඩුල්ලට අහමඩ් ශේසාඩ් එක් වුණු කමිඳු මෙන්ඩිස් පෙරමුණ බිඳවැටුණු කැන්ඩි වොරියර්ස් පිල ගොඩ ගැනීමේ කාර්යයේ නිරත විය. පන්දු 56 කදී ලකුණු 83 එක් කළ එම සම්බන්ධතාවයේදී කමිඳුගේ දායකත්වය පන්දු 25 කදී ලකුණු 32 කි.

කැන්ඩි ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 3 න් 2 කම හිමිකාරයා බවට පත් වුණු සමිට් පටෙල් සිය පන්දුවාර 4 නිමා කරන ලද්දේ ලකුණු 13 කට කඩුලු 3 ක් ලෙසිනි. පළමු තරගය අහිමිව දෙවැනි තරගයට ක්‍රීඩා කළ ධනංජය ලක්ෂාන් ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

තරගයේ වීරයා – ධනංජය ලක්ෂාන්

ලකුණු සාරාංශය

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 කට ලකුණු 143 යි – (අහමඩ් ශේසාඩ් 56, කමිඳු මෙන්ඩිස් 32, ඇන්ජලෝ පෙරේරරා 10, තිලකරත්න සම්පත් 19, සමිට් පටෙල් 13/3, ධනංජය ලක්ෂාන් 11/1, නූර් අහමඩ් 22/1)

ගෝල් ග්ලැඩියේටර් පන්දුවාර 19.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 147 යි – (ධනුෂ්ක ගුණතිලක 45, කුසල් මෙන්ඩිස් 16, මොහොමඩ් හෆීස් 13, භානුක රාජපක්ෂ 22, ළහිරු මධුශංක 22*, ධනංජය ලක්ෂාන් 10, සචිඳු කොළඹගේ 20/3, චරිත් අසලංක 19/1, රොව්මන් පවෙල් 12/1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here