ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත්කර ගැනීම සඳහා දැරූ උත්සාහයේ සුබ ලකුණු පහළ වී ඇත.
එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අවසර ලබා දී ඇත.
ක්‍රීඩකයින්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවත්කර ගැනීම සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ දි එම නිළධාරීන් හමුවී කළ සාකච්ඡාවෙන් අනතුරුව විද්‍යුත් ලිපි හා වීඩියෝ තාක්ෂණය මගින් පැවති සාකච්ඡා හරහා ඔවුන් ඉදිරිපත් කල කරුණු ඉටු කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ග පිළිබඳව තිබු විශ්වාසය මත මෙම තීරණය ගෙන තිබේ.
දෙපාර්ශවය අතර අවබෝධතාව ශක්තිමත් කර එකගතාවයට පැමිණීමෙන් අනතුරුව මේ වන විටත් අමාත්‍යවරයා සතු බලතල අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා එහි සංශෝධන අනුව 32,33 හා 41 වගන්ති යටතේ පාපන්දු ක්‍රීඩාව සදහා වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන හා අනෙකුත් අවැසි කටයුතු සදහා ද අදාල නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමට 2342/09 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ඒ අනුව එම කරුණු ඉටු කිරීම සදහා 2023 ජූලි මස 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත කමිටුව පත් කර ඇත.
01. ඒ.ජී.සී. දේශප්‍රිය මහතා – සභාපති
02. එන් .කේ.කපුරුබණ්ඩා මහත්මිය – ලේකම්
03. කේ.ඒ.ආර්.සී.කහදවල මහතා – භාණ්ඩාගාරික
තවද, එම ගැසට් පත්‍රය මගින් පහත කරුණු ද ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.
01. නිලවරණයෙන් පත්වන නිලධාරී මණ්ඩලයේ නිල කාලය වසර 4 ක් විය යුතුයි
02. මහලේකම්/ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීම
03. 2022 සැප්තැම්බර් මස 22 දින සම්මත කරන ලද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව නව විධායක කමිටුව නිලවරණයකින් තෝරා පත් කරනු ලැබේ.
ජාත්‍යන්තර පාපන්දු ආයතනයේ යෝජනාවන්ට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජෙෂ්ඨයින් අතරින් කෙනෙකු ප්‍රධාන විධායක නිළධාරි ලෙස පත් කර 2024 මාර්තු 31 වන දිනට පෙර නිළවරණය පැවැත්විමට කටයුතු සිදුකරගෙන යනු ලබයි. දේශපාලන මැදිහත්වීමකින් තොරව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කරන අතර වසර 4 කට වරක් නිළවරණයක් මගින් රහස් ඡන්දයකින් පත්වන නිළධාරි මණ්ඩලයක් සදහා පරිපාලන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබී ඇත.