ඉදිරියේ දී පැවැත්වෙන ශ්‍රේණිගත කිරීම් තරගාවලි සදහා ශ්‍රී ලංකා කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාට, ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපතිතුමාට උපදෙස් ලබා දුන්නා. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශය මගින් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ අද (05) දින පැවති ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පුහුණුව ලැබූ කඹ ඇදීමේ පුහුණුකරුවන් 45 දෙනෙකු හට සහතිකපත් හා පුහුණු හැදුනුම්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
ආසියානු මට්ටමින් පළමු තැන ශ්‍රී ලංකා කඹ ඇදීමේ කාන්තා කණඩායමත්, දකුණු ආසියාවෙන් පළමු තැන ශ්‍රී ලංකා කඹ ඇදීමේ පිරිමි කණ්ඩායමත් සිටිනවා. නමුත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රේණිගත කිරීම්වල දී එම ලැයිස්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායම නැහැ. එයට හේතුව ජාත්‍යන්තර වශයෙන් පවත්වන ශ්‍රේණිගත කිරීම් තරගාවලි සදහා ශ්‍රී ලංකා කඹ ඇදීමේ කණ්ඩායම් සහභාගී කරවීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය නොමැති බව දැනගැනීමට හැකි වූවා.
ශ්‍රී ලාංකේය ජාන මෙන්ම ආහාර රටාව ද අනුව කඹ ඇදීමේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් මට්ටම කරා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් දිනා ගත හැකියි. රාජ්‍ය මට්ටමින් පවත්වන ඉහළම ක්‍රීඩා උළෙල වන ජාතික ක්‍රීඩා උළෙලට කඹ ඇදීමේ ක්‍රීඩා ඉසව්ව අපි මෙවර එක් කර තිබෙනවා. මම ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයෙන් ඉල්ලා සිටිනවා ගම් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් දක්ෂයන් සොයා ගොස් ඔවුන්ව ජාතික තලයට ගෙන ඒමට කටයුතු කරන්න.
අද ජාතික විද්‍යා ආයතනය මගින් කඹ ඇදීමේ පුහුණුකරුවන් හට පාඨමාලාවක් පවත්වා ඔවුන්ට සහතිකපත් හා පුහුණු හැදුනුම්පත ලබා දුන්නා. ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පුහුණුව අවශ්‍යනම් ඒ සදහා විදේශීය පුහුණුකරුවෙකු ගෙන්වා පුහුණුවීම් කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අපි සූදානම්. ක්‍රීඩා උත්සව සදහා යන වියදම් අපි ඉවත් කර ක්‍රීඩාව හා ක්‍රීඩකයා වෙනුවෙන් එම මුදල් යොදවන්න කටයුතු කළා. අර්ජුන රණතුංග මැතිතුමාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව මේ සදහා මා හට විශාල සහයෝගයක් දක්වනවා.
ජාතික ක්‍රීඩා සභාව මේ දිනවල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් වෙන වෙනම ගෙන්වා ඔවුන්ගේ ක්‍රීඩාව රට තුළ ප්‍රචලිත කිරීම, ගම් මට්ටමින් දක්ෂයින් සොයා ගැනීම, ජාත්‍යන්තර ජයග්‍රහණ වෙනුවෙන් ඇති වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡාවල නිරත වෙනවා. දක්ෂයින් පුංචි වයසේදීම හදුනා ගත යුතුයි. නැතහොත් ඔවුන් ගම්වලම ඉපදී ගම්වලම පරවෙලා යනවා. එසේ නොවීමට අපි වගබලාගත යුතුයි.
ක්‍රීඩා සංගම් තුල දූෂණ අක්‍රමිකතා අපි නිතර මාධ්‍ය මගින් දකිනවා. ක්‍රීඩා සංගම්හි තනතුරු ක්‍රීඩාවට ආදරේනම් පමණක් බාර ගන්න. එම තනතුරු තමන්ගේ පැවැත්මට හෝ සුඛවිහරණය සදහා යොදා නොගෙන ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න. ක්‍රීඩා සංගම් කිහිපයක මෙම තත්ත්වය දක්නට ලැබුණා. සමහර ක්‍රීඩා සංගම් තිබෙනවා ඔවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් පවා රටට ගෙනැවිත් දී ඉතා අහිංසක ඉල්ලීම් කිහිපයක් පමණයි ඉල්ලන්නේ. අපි රටක් ලෙස සෑම ක්‍රීඩාවක්ම දියුණු කර ජාත්‍යන්තරය ජයග්‍රහණය කරන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකළ යුතුයි. ආසියාවේම වේගවත්ම මිනිසා අපේ රටේ තරුණයෙක්. අපේ ක්‍රීඩකයෙක්. අද අපිට ඒ පිළිබදව ආඩම්බර විය හැකියි.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා,ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල්, ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති ආර්.ජේ.එම්.රණසිංහ, එහි ලේකම් ක්‍රිෂ්ටි ප්‍රනාන්දු ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.