ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඊයේ (01 දා) සමත්වූවේය. මෙම ජයග්‍රහණයත් සමඟ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වද්දී කටමැත දෙඩවූ බංගලාදේශයට මෙරව තරගාවලියේ ඉවත් වූ පළමු රට බවට පත්ව හිස් අතින් සිය රට බලා යෑමට සිදුවිය.
විස්සයි-20 තරගයකදී ලකුණු 184 ක් හඹා යෑම යනු අතිශය අසීරු කරුණක් වුවත්, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක සහ අසිත ප්‍රනාන්දුගේ ප්‍රතිහත ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් පන්දු 4 ක් සහ කඩුලු 2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. මෙය විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකාව හඹා ගොස් ජය ගන්නා ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වශයෙන්ද සටහන් විය.මෙහි ඉහළතම හඹා යෑම වන්නේද බංග්ලාදේශයට එරෙහිව රැස් කරගන්නා ලද ලකුණු 194 ක ඉලක්කය වේ.
දෙපිළේම දක්ෂතා දැක බලාගැනීම වෙනුවෙන් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීම සදහා බංග්ලාදේශය පිලට ආරාධනා කර සිටියේය. විටෙක ශ්‍රී ලංකාවටත් තවත් විටෙක බංග්ලාදේශයටත් ඇදී ගිය එම ඉනිමේදී පන්දුවාර 20 අවසන් වන විට ලකුණු 183 ක් රැඳවීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ.
බංග්ලාදේශ අඩු ලකුණු සංඛ්‍යාවකට නවතාලමින් පහසු ඉලක්කයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ වුවත්, බලාපොරොත්තු වූ සේවය පන්දු යවන්නන්ට ලබා දීමට නොහැකි විය. අද තරගයේදී මංගල විස්සයි-20 වරම් දිනා ගත් අසිත ප්‍රනාන්දු තෙවැනි පන්දුවාරයේදීම සබීර් රහ්මාන් දවා ගනිමින් සිය මංගල කඩුල්ලට හිමික්ම කීවද ඔහුගේ පන්දුවාර 4 අවසන් වන විට ලකුණු 51 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. ඩිල්ෂාන් මදුශංක සහ මහීෂ් තීක්ෂණ පමණක් පන්දුවාරයකට ලකුණු 6 සීමාව තුළ රඳවා ගෙන පන්දු යැව්වද වනිඳු හසරංග සහ චාමික කරුණාරත්නට පන්දුවාරයකට ලකුණු 8 කට වැඩි වේගයක් තබාගැනීමට ප්‍රතිවාදීහු සමත්වූහ.