දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තේරී පත් වූ 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (24 දා) පස්වරුවේදී ඩුබායි නුවර බලා පිටත්ව ගියේය.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සත්කාරකත්වය සළසන්නේ ශ්‍රී ලංකාව යි.
තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක නායකත්වය දරණ කණ්ඩායමේ උප නායකත්වය මැද පෙළ පිතිකරු චරිත් අසලංක විසින් දරණු ඇත. කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, නුවනිඳු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩසේ, ඩිල්ශාන් මදුශංක යන ක්‍රීඩකයින් මෙවර සංචිතයට ඇතුලත්ය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටය යටතේ පළමුව අගෝස්තු 27 වැනිදා ඇෆ්ගස්තානයට එරෙහිවත් සැප්තැම්බර් 01 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් ඩුබායිහිදී තරග වදිනු ඇත. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැරුණු කොට සාජා ක්‍රීඩාංගණයද තරගාවලිය පැවැත්වෙන අනෙක් ක්‍රීඩාංගණයයි.
මූළික වටයේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4 සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත. එම තරගාවලිය අවසානයේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් දෙක අතර වන අවසන් මහ තරගය සැප්තැම්බර් 11 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
2018 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ආසියානු කුසලාන තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව වන්නේද ලබන 27 වැනිදා ආරම්භ වන 15 වැනි ආසියානු කුසලාන තරගාවලියයි. කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම තරගාවලිය අවසන් වසර 4 තුළදී පැවැත්වීමට නොහැකිවිණ.
1984 වසරේදී ඇරැඹි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරගාවලිවලදී වැඩිම අවස්ථාවක් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව (07) සමත් වද්දී (1984, 1988, 1990, 1995, 2010, 2016, 2018) ශ්‍රී ලංකාව අවස්ථා 5 කදී ශූරතාව (1986, 1997, 2004, 2008, 2014) දිනාගෙන සිටියි. පාකිස්තානය අවස්ථා 2 කදීද (2000, 2012) ආසියානු ශූරතාවට හිමිකම් කියා තිබේ.
මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටින ප්‍රගතිය දෙස අවධානය යොමු කිරීමේදී මෙවර තරගාවලියේදී ශූරතා කුසලාන දිනා ගත හැකි කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස විචාරකයින් ශ්‍රී ලංකාව හඳුන්වා සිටියි. අවසන් වසර 2 ඇතුළත විස්සයි-20 තරග පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා දැක්වීමට සමත්වීම සිටීම ඊට ආසන්නතම හේතුවයි.