ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොද මානසිකත්වයකින් තරඟාවලි සඳහා සහභාගී විය යුතුයි. ඒ සඳහා සෘජු දායකත්වය හා මැදිහත්වීම ක්‍රිඩා සංගම් හා සම්මේලන වල වගකීමක්. ඔවුන්ගේ ගැටලු කල් වේලා ඇතිව හදුනාගෙන ඒවාට විසදුම් ලබා දීමට අපි කටයුතු කළ යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කිරීමට අද (22) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමිණි.
එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය
අපි මේ ගෙවන්නේ රටක් ලෙස විශාල අභියෝග රැසකට මුහුණ දී තිබෙන අවස්ථාවක්. ආර්ථිකමය වශයෙන් අපි විශාල කඩා වැටීමකට ලක් වෙලා තිබෙන්නේ. එවැනි මොහොතක වුව ද ඔබ වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉෂ්ඨ කරන්න අපි උපරිම වශයෙන් කැපවී සිටිනවා.
අපි දැකපු කාරණයක් තමයි ක්‍රීඩක ක්‍රීඩිකාවන් යම් කිසි ජයග්‍රහණයක් ලැබූ පසු ඔවුන් දරා සිටි අපහසුකම්, පීඩාවන් හා අඩුපාඩු මාධ්‍ය වෙත ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ අපහසුතා අපි දැනගන්නේත් ඒ වෙලාවේ දී යි. ඔබට යම් ගැටලුවක් පැනනැගි වහාම අපි දැනුම්වත් කරන්නේනම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කල් වෙලා තිබෙන බව පෙන්වා දෙන්න කැමතියි.
මම මේ අවස්ථාවේදී මගේ කතාවට පළමුව ඔබේ අදහස් වලට මුලින්ම ඉඩ ලබා දුන්නේ එම කාරණය නිසායි. ඔබට මෙම තරගාවලියට සහභාගී වීමට පෙර යම් ගැටලුවක් ඇතිනම් එය මේ මොහොතේ සාකච්ඡා කළ හැකියි.
අපි රජයක් ලෙස මේ මොහොතේ ගැටලු හා අභියෝග රැසකට මුහුණ දුන්න ද වසරකට දෙකකට පෙර ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ලබාදෙන මූල්‍යමය දායකත්වය උපරිමයෙන් ලබා දී තිබෙනවා. ජාතික ක්‍රීඩා අරමුදල හැකි උපරිමයෙන් ක්‍රීඩාව සඳහා දායක කරගෙන එයින් කළ යුතු කාර්යයන් ඉටු කර තිබෙනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොද මානසිකත්වයකින් ක්‍රීඩා කළ යුතුයි. ඔවුන්ගෙ ගැටලු සංගමය වෙත හෝ පුහුණුකරුවන් වෙත ඉදිරිපත් කිරීමෙන් විසදා ගත හැකියි. එසේත් නැතිනම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යාංශ ලේකම්, විෂය භාර අමාත්‍යවරයා වෙත හෝ ඉදිරිපත් කිරීමේ හැකියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබෙනවා.
ක්‍රීඩා සංගම් හා සම්මේලනවලට වගකීමක් තිබෙනවා. රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොද මානසික නිදහසකින් යුක්තව තරගාවලි සඳහා ඉදිරිපත් කරවීමට. අපි ක්‍රීඩා සංගමයකින් බලාපොරොත්තු වන්නේ එයයි.
කොපමණ දුෂ්කරතා, අපහසුතා තිබුණත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගොස් රටට කීර්තියක් ගෙන දේවී කියන විස්වාශය අප තුළ තිබෙනවා. අපේ පුංචි රටේ කෝටි දෙකක ජනතාව ඔබ දෙස බලාගෙන සිටිනවා. මෙම තරගාවලිය සදහා රටවල් 72 ක් සහභාගී වනවා. එම රටවල් සමග තරග කර අපේ දිවයිනට ජයග්‍රහණ ලබා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
මෙවර 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මම හදවතින්ම සුබ පතනවා.
මෙම අවස්තාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රිඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න, අමාත්‍යතුමාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් සහභාගී වූහ.