මධ්‍යම ආසියානු වොලිබෝල් ශුරතාවලි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිල ශූර තාව දිනා ගනියි. එම ශූරතාවලියේ පිරිමි අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව තරග වට 3-0කින් බංග්ලාදේශය පරාජය කොට ජය හිමි කර ගත්තේය. ඊයේ ඩකා නුවරදී නිමා වූ මේ තරගයේ ලකුණු තත්ත්වය වූයේ 28/26, 25/20 හා 25/20ක් ලෙසිනි. ශ්‍රී ලංකා වොලිබෝල් පිල දකුණු ආසියා වොලිබෝල් ශූරතාව මෙතෙක් හිමි කර ගෙන තිබූ ඉහළම දක්ෂතාව වූ අතර, මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලිය දිනා ගැනීම තවත් ඉදිරි පිම්මකි.
ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ සත්කාරක බංග්ලාදේශය ඇතුළු රටවල් 6ක් මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියට සහභාගි වූ අතර, පිරිමි ශූරතාව සඳහා කිර්ගිස්තානය හැර අනෙක් රටවල් තරග කළහ.
ශ්‍රී ලංකා පිරිමි පිල මාලදිවයිනට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් අවසන් තරගයට පිවිසි අතර මාලදිවයින හා ශ්‍රී ලංකා තරගය වට 3-1ක් වූ අතර ලකුණු තත්ත්වය 25-19,24-26,25-23 හා 25-19ක් විය. මේ ශූරතාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම උස්බෙකිස්තානය, බංග්ලාදේශය හා නේපාලය මූලික වටයේදී පරාජය කිරීමට සමත්ව අපරාජිතව සිටියේය.
මේ ශූරතාවලියට එක් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම උස්බෙකිස්තානය හමුවේ පරාජයට පත්වීමෙන් අවසන් මහා තරගය අහිමි වී ගියේය. එම තරගයේ පළමු වට දෙක ශ්‍රී ලංකාව ජයගත්තද අනෙක් වට තුනම උස්බෙකිස්තානය දිනා ගත්තේය. ලකුණු තත්ත්වය 26-24, 25-18, 20 -25, 19- 25 හා 12- 15ක් විය. කෙසේ වෙතත් තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් කිරිගිස්තානය වට 3-0කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය.


















