දෙවැනි වරට පැවැත්වෙන එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ ජය වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම කලම්බු ස්ටාර්ස්ට එරෙහිව ඊයේ (06 දා) පැවැති තරගයෙන් කඩුලු 4ක පරාජයක් අත් වින්දේය. කලම්බු ස්ටාර්ස් ජයග්‍රහණය සඳහා ධනංජය ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා බෙහෙවින් ඉවහල් වීය.
ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කළ ධනංජය ද සිල්වා තම පන්දුවාර 4 ලකුණු 18 කට සීමා කළේ නිලකුණු පන්දු වාර 2 ක්ද සටහන් කර ගනිමිනි. ඒ අතරතුරදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂගේ කඩුලු දවා ගැනීමට සමත් වුණු ධනංජය, පන්දුවට පහර දෙමින් ලකුණු 24 ක්ද පන්දු රකිමින් උඩ පන්දු 2 ක්ද රැක ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූවේය.
නුවන් තුෂාරගේ පන්දුවකට දිනේෂ් චන්දිමාල් එල්ල කරන ලද කවර් ඩ්‍රයිව් පහරින් ලබා ගන්නා ලද ලකුණු 4 ත් සමඟ 18 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී කලම්බු ස්ටාර්ස් ජයග්‍රහණය සනාථ විය. බැලූ බැල්මට ඉලක්කය පහසු ලෙසින් පෙනුණත් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ පන්දු යවන්නෝ ප්‍රතිවාදී පිලේ කඩුලු කඩුලු 6 ක් දවා ගැනීමට සමත්විය.
එම කඩුලු දවා ගැනීමේ මූලිකයා වූ නුවන් තුෂාර පළමුව පැතුම් නිස්සංකවද (01) අනතුරුව කුසල් පෙරේරාගේ (08) කඩුලු දවා ගනිමින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට ජීවයක් එක් කළේය. ඒ අතුරතුරදී මොහොමඩ් හෆීස් විසින් ටොම් බැන්ටන්වද දවා ගනිමින් පීඩනය වැඩි කළේය. ඒ සමඟම හඹා යෑම තරමක් අසීරු බවක් පෙන්නුම් කළ නමුදු මැද පෙළින් පැමිණි ධනංජය ද සිල්වා (24), දිනේෂ් චන්දිමාල් (26) සහ ඩේවිඩ් වීස් (22) වැඩි කලබලයකින් තොරව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම මත තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන ලද ධනංජය ද සිල්වා ස්ලිප් ස්ථානයේ සිට රැක ගන්නා ලද සුපිරි උඩ පන්දුව හමුවේ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ මෙන්ඩිස් දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීය. විනය කඩ කිරීම නිසා මෙන්ඩිස් සමඟ තරග තහනමකට ලක්වූ අනෙක් ක්‍රීඩකයා වූ ධනුෂ්ක ගුණතිලක ගේ කඩුල්ල ධනංජය ද සිල්වා විසින් දවා ගනු ලැබීය.
ඉසුරු උදාන ගෝල් ග්ලැඩියේටර් පිල ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ඒමේ වගකීම කරට ගත්තේය. එහිදී 10 වැනි පිතිකරුවා වූ නූර් අහමඩ් සමඟ එක්වූ උදාන ඉනිමේ අවසන් පන්දු 27 දී ලකුණු 39 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ගෝල් ග්ලැඩියේටර් ලකුණු පුවරුව ඉහළ දැමූහ. හයේ පහර 2 ක් ඇතුළත් වුණු උදාන ලබාගත් ලකුණු 25 සඳහා පන්දු 17 ක් පමණක් වැය කළේය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් ලකුණු රැස් කළ අහමඩ් ලකුණු 11 ක් ලබා ගත්තේ තම ඉනිම ද නොබිඳී පවත්වා ගනිමිනි.
තරගයේ වීරයා – ධනංජය ද සිල්වා
ලකුණු සාරාංශය
ගෝල් ග්ලැඩියේටර් පන්දුවාර 20 දී කඩුලු 8 ට ලකුණු 116 යි – (බෙන් ඩන්ක් 38, සමිට් පටෙල් 14, ඉසුරු උදාන 25*, ධනංජය ද සිල්වා 18/2, දුෂ්මන්ත චමීර 25/2, අකිල ධනංජය 19/2, සීකුගේ ප්‍රසන්න 17/1, ඩේවිඩ් වීස් 16/1)
කලම්බු ස්ටාර්ස් පන්දුවාර 17.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 117 යි – (දිනේෂ් චන්දිමාල් 26*, ඩේවිඩ් වීස් 22, ධනංජය ද සිල්වා 24, ටොම් බෙන්ටන් 10, ශෙර්ෆෙන් රදර්ෆර්ඩ් 10, නුවන් තුෂාර 26/2, පුලින තරංග 31/2, මොහොමඩ් හෆීස් 15/1, නූර් අහමඩ් 22/1)