කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි.

0
327

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සචිනි පෙරේරා සමත් වූවාය. එහිදී ඇය මීටර් 3.60ක උසක් සටහන් කළ අතර, ඒ සමඟින් ඇය විසින්ම පසුගිය මස ජාතික ශූරතාවලියේදී තබා තිබූ මීටර් 3.57ක වාර්තාව බිඳ වැටිණි. මෙලෙස මාස කිහිපයක් තුළ පිට පිට අවස්ථා 3කදී (2020 ජාතික ශූරතාවලිය මී. 3.56, 2021 ජාතික ශූරතාවලිය මී.3.57, යුද හමුදා ශූරතාවලිය) ඇය විසින් ජාතික වාර්තාව අලුත් කිරීම කැපී පෙනුණු අතර, මේ තරගාවලියේදී මීටර් 3.60 අබිබවා යෑමට ඇය ගත් උත්සාහය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

යුද හමුදා ශූරතාවලියේදී රිටි පැනීමේ කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය ටී.එන්. විජේසූරිය හිමි කර ගත්තේ මීටර් 2.10ක් සමඟිනි. එම ඉසව්වේ පිරිමි තරගයේදී ජාතික ශූර ඒ. පුවිදරන් මීටර් 5.00ක දක්ෂතාවක් දැක්වූ අතර, ඊ. ජනිත් එම උසම වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත් විය. මේ උස නව තරගාවලි වාර්තාවක් ලෙස සටහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here