පැරාලිම්පික් ජය කෙළි නැංවූ ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති.

0
376

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

පැරාලිම්පික් තරගබිමේ නව වාර්තා තබමින් ඔබ ලැබූ ජයග්‍රහණයන් ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය තුළ ගෞරවාදරයට ලක් කිරීමක් බව අග්‍රාමාත්‍යතුමා මෙම සුහඳ හමුවේ දී ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කළේය.

ඉතිහාසය අලුතින් ලියා තැබූ මෙම ජයග්‍රහණයට මග පෙන්වූ පුහුණුකරුවන් නිලධාරින් ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමා, ක්‍රීඩා ජයග්‍රහණ හිමිකර දෙමින් රටට අභිමානයක් එක් කිරීමට කැපවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බව අවධාරණය කළේය.

ජාපනයේ ටෝකියෝ හී පැවති 2020 පැරා ඔලිම්පික් තරගාවලියේ දී F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.79ක දුරක් හෙල්ලය විසිකරමින් නව ලෝකවාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

එම තරගාවලියේම F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 65.61 වාර්තාකරමින් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා දුන්නේය.


ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු රජය ලබා දෙන සහයෝගයට සිය ප්‍රණාමය පුදකරන බව මෙහි දී පරාලිම්පික් පදකම් දිනූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමාට පැවසූහ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙරට ක්‍රීඩාව සැළැස්මකට අනුව දියුණු කිරීමට පියවර ගැනීම ජයග්‍රහණ පිළිබඳ අනාගත බලාපොරොත්තු තැබීමේ හැකියාව උදාකරන බව ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත්, ලේකම් බන්දුල බණ්ඩාර, හෙල්ල විසිකීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here