දින 19 ක් තිස්සේ ක්‍රියාත්මක තරග 23 ක් අවසානයේ 2021 වසරේ LPL ශූරයින් සොයන අවසන් මහ සටන භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර් පිලත්, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් පිලත් අතර තරගය අද (23) ප.ව. 7.30 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
මෙම තරගයේදී ජය වාර්තා කරනු ලබන කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL 2021 ශූරයින් ලෙස කිරුළු පළඳිනු ඇත.
කණ්ඩායම් ශක්තිය දෙස බැලීමේදී දෙපිළේම තුන් ඉරියව්වෙන් කරට කරට සටනක සිටිති. මූලික වටයේදී ග්ලැඩියේටර්ස් පිල පිතිකරණයෙන් කිසියම් පසුබෑමක් පෙන්නුම් කළත් අවසානය වන විට සියළුම පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා මේ වන විට ඔවුන් පරිපූර්ණ කණ්ඩායමක් බවට පත්වී සිටියි.
“මේ තරගය ඇත්තටම ජාතික කණ්ඩායමකට එරෙහිව පැවැත්වෙන තරගයක් වගේ. අපි තරග ක්‍රීඩා කරපු තරග 3 ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ ජයග්‍රහණයත් සමඟ අපේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. අපි තුන් වතාවක් ඔවුන්ව පරාජයට පත් කළත් කිසි විටෙකත් හෙට දිනයේදී අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක්. මොකද ඔවුන් කොයි තරම් හොඳට ක්‍රීඩා කරනවද කියන එක අපි හොඳින්ම දන්න නිසා. මේ තරගය සඳහා අපේ සූදානම ඉතාමත් හොඳයි. මේ තරගයත් තවත් එක් තරගයක් විදියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයිද තරගය පිළිබඳව ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ අදහස් දක්වා සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වා සිටින ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා සඳහන් කර සිටියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ග්ලැඩියේටර් පිල හමුවේ වුණු වැරදි සියල්ල හදා ගනිමින් හෙට තරගයට අවතීර්ණ වන බවයි. “අපි අවසන් තරගය ජයග්‍රහණය කරපු නිසා හැමෝම ඉන්නේ හොද මානසිකත්වයක. අපිට ලොකු පීඩනයක් කර ගන්නේ නෑ. හෙට තරගයේදී අපේ කාර්යය භාරය ඉටු කළොත් අපිට ජයග්‍රහණය කරන්න පුලුවන්. ගාල්ලට එරෙහි අවසන් තරගයේදී අපේ දුර්වලතාවයන් වුණේ අපිට කෙටි ලකුණු සහ දෙකේ ලකුණු ලබා ගන්නවාට වඩා විශාල පහරවල් කරා යන්නයි. නමුත් දඹුල්ලට එරෙහි තරගයේදී ඒ දේ වෙනවා අපි දැක්කා. අපි කතා කරලා තියෙන දේවල් ක්‍රීඩා පිටියේදී කියාත්මක කළා. ඒකයි ඒ තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ” යැයි තිසර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ගෝල් ග්ලැඩියේටර්ස් – 1. කුසල් මෙන්ඩිස්, 2. ධනුෂ්ක ගුණතිලක, 3. අන්වර් අලී, මොහොමඩ් හෆීස්, 5. භානුක රාජපක්ෂ, 6. සමිට් පටෙල්, 7. සහන් ආරච්චිගේ, 8. ඉසුරු උදාන, 9. පුලින තරංග, 10. නුවන් තුෂාර, 11. මොහොමඩ් අමීර්.
ජැෆ්නා කිංග්ස් – 1. රාමනුල්ලා ගුර්බාස්, 2. අවිෂ්ක ප්‍රනාන්දු, 3. ටොම් කොලර්-කැඩ්මෝර්, 4. අෂේන් බණ්ඩාර, 5. ෂොයෙබ් මලික්, 6. තිසර පෙරේරා, 7. චතුරංග ද සිල්වා, 8. වනිඳු හසරංග, 9. ජේඩ්න් සීල්ස්, 10. සුරංග ලක්මාල්, 11. මහීෂ් තීක්ෂණ