“අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ඇරඹෙයි.

0
423

සමාරම්භක උළෙල අද රාත්‍රී 8.00 ට මාලදිවයින් ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගය අද (08) රාත්‍රී 9.00 ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.

අමාත්‍ය නාමල්  රාජපක්ෂ මහතාගේ උපදෙස්  පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘‘අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය අද (08) දින කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වේ.

මෙහි සමාරම්භක උත්සවය කොවිඩ් මාර්ගෝපදේශයන්ට යටත්ව මාලදිවයින් ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සඳහා  බංග්ලාදේශය, සී ෂෙල්ස් රාජ්‍යය, මාලදිවයින හා ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වන අතර එම කණ්ඩායම් මේ වනවිට මෙරට තරු පන්තියේ හෝටල්වල ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ නේවාසිකව රැඳී සිටිති. 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරයේ ධාරිතාවෙන් අඩකට අවස්ථාව හිමි වන අතර කොවිඩ් එන්නත්කරණ කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරග පැවැත්වෙන දිනයන්හි දී ක්‍රීඩාංගණ දොරටුවෙන් ප්‍රවේශ පත් ලබාගත හැක.

මෙම තරගාවලිය නැරඹීම සඳහා විදේශීය ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව සලසා දී ඇත.  ඔවුන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ටිකට්පත්, නේවාසික පහසුකම් හා තරගාවලි ප්‍රවේශ පත්‍ ඇතුළත් විශේෂ පැකේජයක් හඳුන්වා දී ඇත. ඒ හරහා මේ වනවිටත් විදෙස් පාපන්දුලෝලීන් දහසකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින්  ප්‍රේක්ෂකාගාරය තුළ දේශීය හා විදේශීය  ක්‍රීඩාලෝලීන් හට වෙන් වෙන්ව තරගාවලිය නැරඹීමට අවස්ථාව ලැබෙන පරිදි ස්ථාන වෙන් කර දී ඇත.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක නොවැම්බර් 19 වනදා තරග වැදීමට නියමිත අතර එම අවසන් මහා තරගයෙන් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායමට ‘‘අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය’’ සමග ඇ.ඩොලර් 30,000ක ත්‍යාග මුදලක් ද පිරිනැමේ.

මෙහි සමාප්ති උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම අවස්ථාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා  (Gianni Infantino) සහභාගීවීමට නියමිතය.‍‍

“අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරධිතයා වශයෙන් සහභාගීවීමට මාලදිවයින් ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා අද උදෑසන මෙරටට පැමිණියේය.

කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී නිල වශයෙන් මාලදිවයින ජනාධිපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ අපේ රටේ ක්‍රීඩාංගණ ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමට සුදුසු බව පෙන්වීමට මෙම තරගාවලිය ඉතාමත් හොද අවස්ථාවක් බවයි.

‘‘අපේ ක්‍රීඩාංගණ, අපේ යටිතල පහසුකම් ජාත්‍යන්තර තරගවලට භාවිතා කිරීමට සුදුසුයි කියන පණිවිඩයත්, එන්නත්කරණය අවසන්වීමත් සමගම කොවිඩි 19 වසංගත කාල සීමාවෙන් පසු හා වසංගත තත්ත්වය අතරතුර ‍රට තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මාවත විවර වෙනවා කියන පණිවිඩයත් මෙමගින් ලබා දෙන්න අපට පුලුවන් වුණා.

මාලදිවයින කියන්නේ අපේ අසල්වාසී රටක්. ඒ වගේම අපේ රටේ ජනතාව සමග ඉතාමත් සමීප සබදතා පවත්වමින් සහයෝගයෙන් ජීවත් වෙන රටක්.

එරට රාජ්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක මාලදිවයින් පාපන්දු ක්‍රීඩාව ඉතාමත් හොද ස්ථානයක තිබෙනවා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පිළිගෙන මාලදිවයින් ජනාධිපතිතුමා මෙහි සමාරම්භක උත්සවයට සම්බන්ධවීමට පැමිණිම පිළිබදව අපි සතුටු වෙනවා”යැයි පැවසීය.

නිල තේමා ගීතය පහත සබැදිය ඔස්සේ නැරඹිය හැක.

https://youtu.be/tu1zg_RkciM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here