රංජන් මඩුගල්ල ලොව පළමු තැනට…

0
710

එක්දින ක්‍රිකට් තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා බවට රංජන් මඩුගල්ල මහතා පත් විය. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය මඩුගල්ලේ මහතාගේ 400 වැනි එක්දින තරගය බවට පත්වුණු බැවින් ඒ සදහා උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය.

එම තිළිණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා විසින් මඩුගල්ලේ මහතාට ප්‍රධානය කරනු ලැබීය. එම අවස්ථාවට දෙපිළේ නායකයින් වන රෝහිත් ෂර්මා සහ චරිත් අසලංක මෙන්ම එම තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ලබන ඔස්ට්‍රේලියානු ජාතික පෝල් රයිෆල්, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ බටහිර ඉන්දීය කොදෙව් හි ජොයෙල් විල්සන් යන විනිසුරුවරුන්ද සහභාගි විය.

1993 වසරේ පළමුවෙන්ම තරග තීරකවරයකු ලෙස කටයුතු කළ මඩුගල්ලේ මහතා මේ වන විට ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද  පළමු වැන්නා බවට වූ වාර්තාවද තමන් සතු කරගෙන සිටියි.

තරග තීරකවරයකු වීමට පෙර මඩුගල්ලේ මහතා ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 21 කටද එක්දින තරග 63 කට ක්‍රීඩා කර තිබේ. ඔහු 1988 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 2 කදී නායකත්වය හොබවා තිබේ. දශක 3 කට අධික කාලයක් තරග තීරකවරයකු ලෙසින් කටයුතු කළ ඇති රංජන් මහතා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ කමිටුවේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරයි.

-ප්‍රසාද් සේනාධීර-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here