සංචාරක ඉන්දීය කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 110 ක අති විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ අනුව 2-0 වශයෙන් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
වසර 27 කට පසුව ඉන්දියාවට එරෙහිව අභිමානවත් තරගාවලි ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේ 1997 වසරේ දීය. එහිදී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්විය. එදා තරගාවලීයේ වීරයා වූ සනත් ජයසූරිය, අද තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කිරීම ද විශේෂත්වයකි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු රැස්කල වැඩිම ළකුණු ප්‍රමාණය හිමිකර ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. එය ලකුණු 96 ක් වූ අතර, කුසල් මේන්ඩිස් ලකුණු 59 ක්, පැතුම් නිශ්ශංක ලකුණු 45 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසන් වන විට කඩුළු 7 ක් දැවී ලකුණු 248 ක් හිමිකර ගැනීමට සමත් විය.
කැපී පෙනන පන්දු යැවීමක නිරත වුණු දුනිත් වෙල්ලාලගේ ඉන්දීය ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 27 ක් ඇතුළත දවා ගැනීමට සමත්විය. මෙය ඔහුගේ එක්දින තරග දිවියේ කඩුලු 5 ක් දවා ගත් දෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය. ඔහු මීට පෙර දවා ගත් කඩුලු 5 ද ඉන්දියාවට එරෙහිව ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයක දී වීමද විශේෂත්වයකි.
ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් සමත් වුවත් දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ රෝහිත් ෂර්මා දැවී ගියේය. ෂර්මාගේ දැවී යෑමෙන් පසු ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 48 ක් එකතු වන අතර වාරයේදී කඩුලු 7 ක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ඉන්දියාව සියලු දෙනා දැවී පන්දුවාර 26.1 දී ලකුණු 138 ක් රැස්කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 248 යි
පැතුම් නිස්සංක 45, අවිශ්ක ප්‍රනාන්දු 96, කුසල් මෙන්ඩිස් 59, චරිත් අසලංක 10, සදීර සමරවික්‍රම 00, ජනිත් ලියනගේ 08, දුනිත් වෙල්ලාලගේ 02, කමිදු මෙන්ඩිස් 23, මහීෂ් තීක්ෂණ 03,
(රියාන් පරාග් 54/3, කුල්දීප් යාදව් 36/1, වොෂිංටන් සුන්දර් 29/1, අක්සාර් පටෙල් 41/1, මොහොමඩ් ශිරාජ් 78/1)
ඉන්දියාව පන්දුවාර 26.1 කදී සියලු දෙනා දැවී ලකුණු 138 යි
රෝහිත් ෂර්මා 35, ශුබ්මන් ගිල් 06, විරාට් කෝලි 20, රිෂාබ් පාන්ට් 06, ශ්‍රේයාස් අයියර් 08, අක්සාර් පටෙලන් 02, රියන් පරාග් 15, ශිවම් ඩුබේ 09, වොෂිංටන් සුන්දර් 30, කුල්දීප් යාදව් 06, මොහොමඩ් ශිරාජ් 00,
(දුනිත් වෙල්ලාලගේ 27/5, ජෙෆ්රි වැන්ඉර්සි 34/2, මහීෂ් තීක්ෂණ 45/2)
-ප්‍රසාද් සේනාධීර-
වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව ජයගත් එක් දින ක්‍රිකට් තරගාවලිය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ තරගයේ වීරයා දුනිත් වෙල්ලාලගේ මාධ්‍ය හමුවේදී කියූ කතාව.


































