“අග‍මැති මහින්ද රාජපක්ෂ කුසලාන” පළමු පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව නිම විය.

0
426

“අග‍මැති මහින්ද රාජපක්ෂ කුසලාන” සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (09) දින සවස කොළඹ තුරඟ තරග පිටියේදී පවත්වන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය අතිශය තියුණු මුහුණුවරක් උසුලමින් ගෝල් 04 – 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයේ ප‍්‍රථම භාගය අවසන් වන විට ගෝල් 03 – 00 ක් ලෙස පෙරමුණේ පසු වන්නට මාලදිවයිනට හැකි වූ නමුත් දෙවන භාගය ආරම්භයේ පටන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් විශිෂ්ට තරග නිමාවකට අවතීර්ණ වීමට ශ‍්‍රී ලංකා පිලට හැකිවීම කැපී පෙනුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෑත ඉතිහාසයේ ශ‍්‍රී ලංකාවේ දී වාර්තා කළ විශිෂ්ටතම තරග නිමාව ශ‍්‍රී ලංකා පිල වෙතින් දක්නට ලැබුණි.

තරගය ඇරඹී 07 වැනි මිනිත්තුවේදී පළමූ ගෝලය ද 09 වැනි මිනිත්තුවේදී දෙවන ගෝලය ද 33 වැනි මිනිත්තුවේදී තෙවන ගෝලය ද 58 වැනි මිනිත්තුවේදී සිව් වැනි ගෝලය ද වාර්තා කරමින් ගෝල් 04 – 00 ක් ලෙස පෙරමුණේ පසුවූ මාලදිවයින හඹාගොස් ශ්‍රී ලංකාව ප‍්‍රදර්ශනය කළ දක්ෂතාවය අති විශිෂ්ටය.

64, 69, 73 සහ 91 යන මිනිත්තු වලදී ක‍්‍රියාත්මක වූ මොහොමඞ් වසීම් රාසික් ශ‍්‍රී ලංකා කණ්ඩායම ට ගෞරවය එක් කරමින් ගෝල් 04 රැස් කිරීමට සමත් විය. වාර්තාගත ගෝල් රැස් කිරීමක නිරත වූ මොහොමඞ් වසීම් රාසික් ඊයේ දිනයේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

කටාර් ජාතික විනිසුරු මොහොමඞ් අල්ෂමරී මහතාගේ නලා හඬට අනුව ක‍්‍රියාත්මක කෙරුණු මෙම තරගයේදී ගෝල් රකින ක‍්‍රීඩක සුජාන් පෙරේරා ගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා පිල තරඟ වැදුනි.

අරම්භක ක‍්‍රීඩකයින් ලෙස සුජාන් පෙරේරා, ඩක්සන් පස්ලස්, චමෝද් ඩිල්ශාන්, චරිත රත්නායක, කවිදු ඉෂාන්, ඩිලන් සෙනන් ද සිල්වා, චලන චමීර, අහමඞ් වසීම් රාසික්, මොහොමඞ් ෆසාල්, මර්වින් හැමිල්ටන් සහ මොහොමඞ් අමාන් තරග බිමට අවතීර්ණ වූයේ ජයග‍්‍රහණයක පිපාසය සන්සිදුවා ගැනීමේ අරමුණ ඇතිව බව පෙනෙන්නට තිබිණ.

ශ‍්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට නැවුම් අත්දැකීමක් ලෙස ඊයේ (09) දිනයේදී එක්වූ සිව් කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මාලදිවයින ජනාධිපති ඊබ‍්‍රහිම් මොහොමඞ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව විචිත‍්‍රවත් කෙටි සමාරම්භක උත්සවයකින් අනතුරුව ආරම්භ කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.

ඇමරිකානු ඩොලර් 30.000 ක් සමගින් ‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලානය‘ දිනා ගැනීම අරමුණු කර ගනිමින් සීෂෙල්ස්, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතරේ මෙම තරගාවලිය ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරේ.

මෙම තරගාවලියේ දෙවන හමුව ලෙස බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර තරගය අද (10) දින පස්වරු 4.00 ට කොළඹ තුරඟ තරග පිටියේ දී ම ක‍්‍රියාත්මක කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here