තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, ලේකහවුස් ආයතනය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, පාපැදි විනිසුරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන ‘Lanka Ride 2025’ පාපැදි සවාරිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (නොවැ.12)දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ජනතාව ක්‍රීඩාවට යොමු කරගනිමින් ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමත්, පාපැදි තරගය මෙරට ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහාත් මෙම Lanka Ride පාපැදි සවාරිය පැවැත්වෙන බවයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මගින් ඉතිහාසයේ පළමුවරට මෙම ‘Lanka Ride 2025 පාපැදි සවාරිය’ පැවැත්වීම සුවිශේෂී අවස්ථාවක් වන බව අමාත්‍යවරයා පැවසුවේ ය.
ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස විවිධ වැඩසටහන් ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන බවත්, Lanka Ride 2025 පාපැදි සවාරිය ද එවන් වැඩසටහනක් බවත් අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ ය.
මෙම අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසුවේ, යහපත් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට ක්‍රීඩාව කෙරෙහි ජනතාව ආකර්ෂණය කර ගැනීමට හැකි වැඩසටහන් නිර්මාණය විය යුතු බවයි. Lanka Ride 2025 පාපැදි සවාරි තරඟයෙහි එක් අරමුණක් වන්නේ ද ක්‍රීඩාව කෙරෙහි ජනතාව යොමු කරවා ගැනීම බව ඔහු පැවසුවේ ය.
Lanka Ride 2025 පාපැදි සවාරිය සඳහා සහභාගී වී ජයග්‍රහණය කරන ක්‍රීඩකයින් සහ කණ්ඩායම් සඳහා විශාල තෑගි මුදලක් ලබා දීමට මෙවර කටයුතු කරන බවත්, ක්‍රීඩාව තුළින් නීරෝගීමත් ජනතාවක් බිහි කර ගැනීම මෙරට ආර්ථිකය කෙරෙහි යහපත් බලපෑමක් වන බවත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ ය.
දෙසැම්බර් 18 ලේක්හවුස් ආයතන ඉදිරිපිටින් තරගය ආරම්භ කෙරෙන අතර ආරම්භක දිනය කිලෝමීටර් හතක දුරක් නිදහස් ධාවනයකට ඉඩ සැලසේ. අනතුරුව පෑලියගොඩ පොලීසිය ඉදිරිපිටින් තරඟය ආරම්භ කෙරෙන අතර එහි සිට ගන්නෝරුව දක්වා 106 km දුරක් ධාවනය කෙරේ. දෙවැනි දිනයේ (දෙසැ.19) දින මහනුවර සිට දඹුල්ල හරහා 136km ගොස් අනුරාධපුරයට ළඟා වේ. තෙවැනි දිනයේදී (දෙසැ. 20) අනුරාධපුරයේ සිට පුත්තලම පාර ඔස්සේ 208km ක දුරක් ධාවනයෙන් අනතුරුව කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටින් තරඟය නිමාවට පත් වේ.
පළමු ස්ථානයේ දිනාගන්නා ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ 06ක්, දෙවෙනි ස්ථානයට රුපියල් ලක්ෂ 5ක්, තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 4ක් සහ 25 වැනි ස්ථානය දක්වා තරඟය නිමා කරන ධාවකයන්ට මුදල් තෑගි ලබාදීමට ද බලාපොරොත්තු වේ.
එමෙන්ම 23 න් පහළ හොඳම යොවුන් පාපැදි ධාවකයාට රුපියල් ලක්ෂ 2 ක් ද, හොඳම කඳු තරණය කරන්නාට රුපියල් ලක්ෂයක් ද, ලකුණු අනුව තෝරාගන්නා කඩයිම් ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක්, හොඳම පාපැදි කණ්ඩායමට රුපියල් ලක්ෂ 2ක්, හා හොඳම අනුශූර කණ්ඩායමට රුපියල් ලක්ෂයක් මුදලින් තෑගි ලෙස ලබාදීමට ද බලාපොරොත්තු වේ.
ක්‍රීඩකයින්ට කණ්ඩායම් වශයෙන් තරඟයට ඉදිරිපත් වීමේ අවස්ථාව සලසා දී ඇති අතර, එක් පාපැදි කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 06ක් ඇතුළත් විය යුතු අතර එහි අවමය ක්‍රීඩකයින් 04ක් ඇතුළත් විය යුතුය. අයදුම්පත් බාරගන්නා අවසාන දිනය දෙසැම්බර් 12 වේ.
මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, පාපැදි විනිසුරු සංගමයේ සභාපති උපුල් චන්දන, සන්නාම ප්‍රවර්ධන කළමනාකරු දර්ශ චන්ද්‍රසිරි සහභාගී විය.
තරිදු මධුෂාන්














