ආරක්ෂාව තහවුරු කර තරගාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට ක්‍රීඩකයින් එකඟ වෙයි
පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලි දෙකකට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලු ආරක්ෂාත්මක පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික වී ඇත.
ජනාධිපති මැදුර සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ කණ්ඩායමේ බලධාරීන් සමග සාකච්ඡා කර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.
ඒ අනුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාද පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පාකිස්තාන අධිකාරීන් එකඟත්වය දැක්වූ බව වාර්තා වේ.
කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයටද දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, ඉස්ලාමාබාද් නගරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසු පවතින විකුලතාව නිසා මෙම පියවර ගෙන ඇත.
එම ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අටදෙනෙකු රටට ආපසු පැමිණීමට සූදානම් වූ නමුත්, ආරක්ෂාත්මක සහතික ලබාගැනීමෙන් පසුව ඔවුන් සියලු දෙනාම තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට එකඟ වූ බවටද තොරතුරු පවසයි.
ඊයේ රාත්‍රීයේදී පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ සහය ලබාදෙන බව පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා තම X (Twitter) ගිණුම ඔස්සේද ප්‍රකාශ කළා.
එම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නිල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ කණ්ඩායමේ සාමාජිකයෙකු පෞද්ගලිකව රටට ආපසු පැමිණියහොත්, ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා විනයානුකුල ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෙසේ වෙතත්, ක්‍රීඩකයින් සිය ආපසු පැමිණීමේ ඉල්ලීම් ඉවත් කරගැනීමෙන් පසු, ආදේශ ක්‍රීඩකයින් යැවීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසා ඇත.
තරිදු මධුෂාන්













