පළමු 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය.

0
110

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති පළමු 20/20 ක්‍රිකට් තරගය ලකුණු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු 20/20 තරගය මෙයයි.

වසර 6 කට පසුව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටීම විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකයි.

පැතුම් ලකුණු 6 කටත් කුසල් ලකුණු 10 කටත් දැවී ගියේය.

දනංජය ද සිල්වා ලකුණු 24 ක් රැස් කළ අතර සධීර සමරවික්‍රම ලකුණු 25 යි.

වැඩිම ලකුණු ලාභියා වෙමින් නායක වනිදු හසරංග පන්දු 32 කදී ලකුණු 67 ක් රැස් කිරීමට සමත් විය.

ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 3 ඇතුළත්ය.

වනිදු වාර්තා කළේ තම දෙවැනි 20/20 අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 160 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ෆසාල්හක් ෆාරුකී කඩුලු 3 ක් බිඳහෙලීය.

තරගය ජය ගැනීමට ලකුණු 161 ක් ඉලක්කයක් සමඟ ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ කළේ ඊබ්‍රහිම් සාඩ්‍රන් සහ රහමනුල්ලා ගුර්බාස්.

ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 25 ක් වන විට ගුර්බාස් ලකුණු 13 කට දැවී ගියේය.

ගුල්බඩීන් නයිබ් ලකුණු 16 ක් රැස් කළ අතර කරීම් ජානට් ලකුණු 20 යි.

ඊබ්‍රහිම් සාඩ්‍රන් එක් අන්තයකින් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඇෆ්ගනිස්ථානය තරගයේ ජයග්‍රහණය කර රැගෙන යාමට උත්සාහ කළද ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට පන්දු වාර 20 තුළ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 156 ක් පමණි.

නායක ඊබ්‍රහිම් සාඩ්‍රන් නොදැවී ලකුණු 67 යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.

දසුන් ශානක කඩුලු 2 යි.

තරගයේ වීරයා සම්මානය මතීෂ පතිරණට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here