1996 ලෝක කුසළානය දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාගේත් අවධානයට ලක් වන ආයතනයක් බවට පත් විය. එවකට ක්‍රීඩකයින් තමන්ගේ වියදමින්, දානපතියන්ගේ අනුග්‍රහයෙන් බොහෝ මහන්සි වී ක්‍රිකට් තරගාවලි සදහා සහභාගී වී ජයග්‍රහණ ලැබීමත් සමගින් රටට කීර්තිය ද සමගින් මුදල් ද ගලා එන්නට විය.
එදා පන්දු ඕවර් 50 ලෝක කුසළානය, පන්දු වාර 20 ලෝක කුසළානයන්හි ශූරයන් බවට පත් වී එහි හිමිකාරිත්වය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ලෝක කුසළාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට මුහුණ දීමට සිදු වූවා.
මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය ඔවුන්ගේ නිසි වගකීම කුමක්දැයි නිසියාකාරව හදුනා නොගත් නිසා බව රටටම පසක් වී හමාරයි. ක්‍රීඩකයින්ගේ සුබ සාධන කටයුතු පසෙකලා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් තමන්ගේ බලය රැකගැනීම හා සුඛවිහරණය සදහා පමණක් තනතුරු හෙබවීම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවැනි අගාධයකට තල්ලුවීමට මූලිකම හේතුව ලෙස දැක්විය හැකියි.
තේරීම් කමිටුවේ සිටම විදෙස් සංචාරය නිම කර පැමිණෙන තුරුම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩකයින්ගේ කටයුතු සදහා මුල් තැන නොදී තමන්ගේ වරදාන වරප්‍රසාද ගැන පමණක් සිතා කටයුතු කර ඇති බව 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසළාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව සිදු කල වෝහාරික විගණන වාර්තාව දෙස බැලූ විට මනාව පිළිබිගු වේ. එහි අඩංගු කරුණු කිහිපයක් පහතින් උපුටා දක්වන්නේ ජනතාවට සැබෑ තත්ත්වය වටහා ගැනීම සදහායි.
ජාතික විගණන කාර්‍යාලයේ විගණන වාර්තාවේ කෙටුම්පතෙන් හෙළි වන අක්‍රමිකතා (T20 ලෝක කුසලාන තරගාවලියට අදාළව)
- ක්‍රීඩා අමාත්‍යාශයේ අනුමැතිය නොමැතිව මාධ්‍යවේදීන් ඇතුලු හය දෙනෙකුට ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහකත්වය ලබා දීම.
- කිසිම ආයතනික එකඟතාවක් හෝ ගිවිසුමක් නොමැතිව එලෙස මාධ්‍යවේදීන්ගේ ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් වැය කිරීම. (කතෘ සටහන: ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව මාධ්‍ය මුනිවත රැකීමේ හේතුව ඔබට පැහැදිලි ඇති. මේ එක් තරගාවලියකට පමණි.)
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කිසිදු නිල සම්බන්දතාවක් නොමැති 35 දෙනෙකුට ඔස්ට්‍රේලියානු වීසා ලබා දෙන ලෙස වීසා අයැදුම්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලිපි ශීර්ෂ යටතේ යොමු කිරීම. (මේ අතුරින් 21 දෙනෙකු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ ඥාතීන් සහ පුද්ගලික හිතවතුන් බව මෙම විගණන කෙටුම්පතේ දක්වා ඇත.) මේ අතරින් සංජීව නිශාන්ත පෙරේරා නමැති පුද්ගලයා නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැති අතර ඔහුගේ සේවා ස්ථානයෙන්ද ඔහුගේ සේවය අවසන් කර ඇත.
- ඔස්ට්‍රේලියාව වෙත ගුවන් ටිකට්පත් (රුපියල් මිලියන 50කට අධික) මිලදී ගැනීමේදී සම්පූර්ණයෙන්ම නියමිත සහ අනුමත ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇති අතර මේ හරහා දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇත. ටිකට්පත් 12ක් සඳහා ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය කිසිසේත් ලබාගෙන නොමැත.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2014 වසරේ සිට 2022 දක්වා අවස්ථා තුනකදී විදෙස් සංචාර සඳහා ගෙවන දෛනික දීමනාව 46%ත් 75%ත් ප්‍රමාණයකින් වැඩි කරගෙන ඇත. මීට අමතරව විධායක කමිටු සාමාජිකයන් විදෙස් සංචාරයක යෙදන අවස්ථාවක් ඇ.එ.ජ. ඩොලර් 2,000ක විනෝදාස්වාද දීමනාවක් සහ ඩොලර් 150ක දුරකථන දීමනාවක් එම විධායක කමිටුව විසින්ම අනුමත කරගෙන ඇත.
- ICC T20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ICC වෙතින් ක්‍රිකට් ආයතනයට ලබා දුන් ටිකට් 725ට අමතරව ටිකට් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 8.7ක් වියදම් කර ඇති අතර එයින් රුපියල් මිලියන 4.7ක ටිකට් මිලදී ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය පවා ලබා දී නැත. අවසන් සහ අවසන් පූර්ව වටයේ තරග නැරඹීම සඳහා මිලදී ගත් ටිකට් පත්වලින් රුපියල් මිලියන 4.1ක් වටිනා ටිකට්පත් ප්‍රයෝජනයට ගෙන නොමැත.
- ක්‍රිකට් පිටිය වියළීම සඳහා භාවිතා කරන ‘සුපර් සොපර්’ යන්ත්‍රයක් පරීක්ෂා කිරීමේ මුවාවෙන් ඒ සඳහා කිසිදු විශේෂඥ දැනුමක් නොමැති ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්නව ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් වියදම් කර ඇති අතර නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඔහු සඳහන් කර ඇත්තේ ඔහුට ඔස්ට්‍රේලියානු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාව මුණ ගැසීමට නොහැකි වූ නිසා යන්ත්‍රය පරීක්ෂා කිරීමට නොහැකි වූ බවයි. පසුව හෙළි වී ඇත්තේ Sokhi Australia Pty Ltd නම් එම ඔස්ට්‍රේලියානු ආයතනය සුපර් සොපර් යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක් නොවන බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අතරමැදි නියෝජිතායතනයක් ලෙස ක්‍රියාකිරීමට පිහිටුවාගත් ආයතනයක් බවයි. (මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් විගණන කෙටුමපතෙහි දක්වා ඇත)
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි විය යුතු ඇ.එ.ජ. ඩොලර් 300,000ක පාරිතෝෂික මුදල ගෙවා නොමැත. (2023 ජුනි 14 දත්ත)
- 2023 පළමු මාස තුන තුළ පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති ගාස්තු ලෙස රුපියල් මිලියන 23කට අධික මුදලක් ගෙවා ඇති අතර මෙම ගෙවීම් ප්‍රධාන වශයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇති විවිධ නීතිමය ආරවුල් සම්බන්ධයෙන් බාහිර නීති උපදේශකයින්ට ගෙවා ඇත.
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩා කිහිපයකම එහි පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාවන් හේතුවෙන් මෙම තත්ත්වයට මුහුණ දී ජාත්‍යන්තර තහනමකට පවා ලක්ව ඇති අතරම තහනමට ලක් වූ පසු ඒවා නැවත ගොඩනැගීම සදහා ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන්ට මහත් වෙහෙසක් දරන්නට සිදු ව ඇත.
මෙම තත්ත්වයන් මෙලෙස සිදු වන්නේ කෙසේදැයි වටහාගත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩකයින්ට හා ක්‍රීඩාවට වඩාත් යහපත් පරිසරයක් ගොඩ නැගෙන අයුරින් ඔහු වෙත පැවරී ඇති බලතල අනුව රටේ නීතිය හා ක්‍රීඩා නීතියට යටත්ව සියලුම ක්‍රීඩා සංගම් හි නිළධාරීන් සදහා පොදු නියමයන් පද්ධතියක් හදුන්වා දී ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මාර්ගෝපදේශ සපයනු ලබන 1973 අංක 25 දරන ක්‍රීඩා පනත කාලීන අවශ්‍යතාවන් මත සංශෝධන ඉදිරිපත් කර ක්‍රියාවට නැංවීමට සූදානම් විය.
සමස්ත ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රැකවරණයට සිදු කරන ක්‍රීඩා පනතේ සංශෝධන ඇතැම් ක්‍රීඩා සංගම් සභාපතිවරුන්ට නුරුස්සන බව මෙම සංශෝධනයන්ට විරුද්ධව අධිකරණයට යෑමට කටයුතු කිරීම මගින් මනා ලෙස පැහැදිළි විය.
ක්‍රීඩාවට යහපත් වන ආකාරයෙන් ක්‍රීඩා පනතේ යම් යම් සංශෝධන සිදු කර ඇත්තේ විධිමත් කමිටුවක් හරහා මාස කිහිපයක් දීර්ඝ සාකච්ඡා වාර ගණනක් පැවැත්වීමෙන් පසුවයි. මේ සංශෝධනවලට අනුව සංගම් සභාපතිවරයකුට අවුරුදු 2 බැගින් දෙවතාවක්, එනම් අවුරුදු 4ක් එම තනතුරේ කටයුතු කළ හැක. වයස් සීමාව අවුරුදු 70ට වඩා අඩුවිය යුතුයි. මෙලෙස ක්‍රීඩාවේ ප්‍රගතියට, ක්‍රීඩාව ආරක්ෂාවට යම් යම් සංශෝධන ගෙන ආවද ඇතැම් ක්‍රීඩා සංගම් සභාපතිවරුන්ට මෙය ගැටලුවක් විය.
මෙම සංශෝධනවල තියෙන වැදගත් කරුණක් වනුයේ අවුරුදු 3කට ආසන්න කාලයක වත්කම් ඉදිරිපත් කළ යුතු වීමයි. ඕනෑම පුද්ගලයෙක් ක්‍රීඩා සංගමයක තනතුරකට එනවා නම් වත්කම් ඉදිරිපත් කළ යුතුයි. ඇතැම් සංගම්වල නිලධාරීන් අවුරුදු 5කට කළින් සිටි තත්ත්වය හා ඉන් පසු ඇතිව තිබෙන දියුණුව අසාමාන්‍යයි. එය අමුතුම තත්ත්වයක්. පුදුම විදිහට මුදල් උපයා තිබෙන අතර එවැනි පැමිණිලි වාර්තා ජාතික ක්‍රීඩා සභාවට ද ලැබී ඇති බවට එහි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා. එළෙසම වර්තමාන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් දූෂණ මර්දන ඒකකය විධිමත් කර ඒ හරහා මෙම වංචාවන් සෙවීමට කටයුතු ආරම්භ කර ඇති බව මාධ්‍ය නිවේදනයක සදහන්ව තිබුණි.
මේ පනත් සංශෝධනය තුළ ක්‍රීඩාව ආරක්ෂා කිරීමට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කරුණු අන්තර්ගතයි. මෙය රටට අවැසි පනතක්. මෙවැනි තීරණ ගැනීමට හිටපු ක්‍රීඩා ඇමැතිවරු කිහිපදෙනෙක් උත්සාහ කළ නමුත් ක්‍රීඩා සංගම් ඒ සදහා හරස් වූ බව සදහන් වනවා. කුමන හොඳ දේ කිරීමට උත්සාහා දැරූව ද ක්‍රීඩා සංගම්වල තනතුරුවලින් ජීවත්වෙන පුද්ගලයන් ප්‍රශ්න ඇති කරනවා. නඩු මාර්ගවලට යනවා. හාස්‍යජනකම දේ තමයි ඔවුන් ක්‍රීඩා ඇමැතිවරයාට විරුද්ධව නඩු දාන්නෙත් ඒ ක්‍රීඩා සංගමයේ මුදල්වලින් වීමයි.
ඔවුන් කෙසේ හෝ තම බලය රැක ගත්ත ද, රටේ ජනතාව, ක්‍රීඩාවට ආදරේ කරන පිරිස් මෙහි සත්‍ය වටහාගෙන අවසන්. ක්‍රීඩා සංගම්වලට මුවා වි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ දක්ෂතා මතින් තම බලය රැකගත් ඔවුන් අවුරුදු 70 පසු වී මැරෙන තුරු සංගම්හි බලය තහවුරු කරගෙන සිටීමට උත්සාහා දරයි.
මේ දිනවල අපට අසන්න දකින්න ලැබෙනුයේ තම බලය සදාකාලිකවම රැකගැනීමට වෙහෙසෙන මහපුටු වලට විරුද්ධව ජනතාව නැගී සිටිමේ ප්‍රථිපලයි. මාධ්‍ය ඉදිරියට පැමිණ එක හොරකමක් වංචාවක් දූෂණයක් ඔප්පු කළහොත් හෙට ඉල්ලා අස්වනවා යැයි පුරසාරම් දොඩවන, ක්‍රීඩාව තමාගේ පෞද්ගලික ව්‍යාපාරයක් සේ හුවා දක්වන ක්‍රීඩා සංගම් නිළධාරීන්ගේ නිරුවත රටට ආදරේ කරන, ක්‍රීඩාවට ආදරේ කරන, මුදලට, මැර බලයට යට නොවූ සමාජ මාධ්‍ය හරහා හෙළිකර හමාරයි.