මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 ක් තරග වදිති.

0
331

චීනයේ හැංශුයි නුවර දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන කණ්ඩායම සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණි.

ඒ අනුව ක්‍රීඩා 20 ක් සඳහා ක්‍රීඩකයින් 62 ක් සහ ක්‍රීඩිකාවන් 34 දෙනෙක් තරග කරනු ඇත. මෙම ක්‍රීඩා 20 සඳහා කළමණාකරුවන් 20 ක් සහ පුහුණුකරුවන් 24 දෙනෙකු සහභාගී වේ. වෛද්‍ය කණ්ඩායමේ 06 ක් ද, ජාතික ඔලිම්පික් කමිටු නිළධාරීන් 07 දෙනෙකුද ඇතුළත්ව මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 153 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ.

මෙහි දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි පසුගියදා නිමාවට පත්වූ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිකර දුන් මෙම කණ්ඩායම සදහා නම් ඇතුලත්ව නොතිබුණු පුහුණුකරුවන් දෙදෙනෙක්ගේ නම් ද ඇතුළත් කෙරිණි.

එනම් වසර 32 කට පසු මිටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් නදිෂා රාමනායක ක්‍රීඩිකාවගෙ පුහුණුකරු ඩබ්.ජී.එම්.තුෂාර මහතා සහ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා දුන් තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා වේ.

බොහෝ නිර්දේශයන් අතුරින් අත්‍යවශ්‍යම කණ්ඩායමට පමණක් මෙවර තරගාවලිය සදහා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වීම විශේෂත්වයක් විය.

මෙම අවස්තාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ෂේමාල් ප්‍රනාන්දු, ජාතික තේරීම් කමිටුවේ ලේකම් අර්ජුන් රිෂ්යා ප්‍රනාන්දු, ජාතික තේරීම් කමිටුවේ මාණ්ඩලික නිළධාරිනී මේජර් ඉෂ්නි කටුවන්ගොඩ, ජාතික ක්‍රීඩා සභාවේ සමාජික ලසිත ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here