විස්සයි 20 ලෝක කුසලානය අභියස පැවති ප්‍රථම විස්සයි 20 තරඟයෙන් ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත් වුණා. ලැබූ ජයග්‍රහණය පිළිබඳව අපේ ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක් කරන අතරම මේ ජවය හා විශ්වාසය, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී අවසානයක් කරා මෙහෙයවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට්, සැමවිටම විශිෂ්ටයි.
ඉදිරි පෙළ කඩුලු 3 ම ලකුණු 23 ක් ඇතුළත බිඳ වැටුණද අවිෂ්ක ප්‍රනාන්දු සහ නායක දසුන් ශානක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 111 ක නොබිඳුණු සම්බන්ධතාවයත් ළහිරු කුමාර ඇතුළු වේග පන්දු යවන්නන් විසින් කඩුලු 8 ක් දවා ගැනීමට සමත්වීමත් හේතුවෙන් ඕමානයට එරෙහිව එරට ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන විස්සයි-20 තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායමේ පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන්ම කඩුලු 2 බැගින් දවා ගත් ළහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් සත්කාරකයින් නොසිතූ ආගාධයකට ඇද දැමූහ. මුලු ලකුණු සංඛ්‍යාව 23 ක්ව සටහන් වන විට පළමු පිතිකරුවන් සිව් දෙනා දැවී යෑම නිසා පහර කරා යෑමට වඩා ඔවුන්ගේ අවධානය යොමු වූයේ වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමටය.
ඒ අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් පන්දුවාර 5 එළැඹීමට මත්තෙන් නිලකුණු පන්දු 49 ක් ඕමාන් පිතිකරුවන්ට එරෙහිව සටහන් කර ගත්හ. සමස්ථ තරගයේ හතරෙන් තුනකදීම වැඩි ග්‍රහණයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා අවසන් පන්දු 30 තුළදී ඕමාන් ඉලක්කය පන්දුවාරයකට ලකුණු 15 ක් හෙවත් ලකුණු 75 ක් ලබාගත යුතු විය. අවසන් පන්දුවාර 2 දී ලකුණු 20 ක් ලබා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වුවත් ඒ අතරතුරදී තවත් කඩුලු 2 ක් දවා ගත් ළහිරු කුමාර ශ්‍රී ලංකා ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත්තවිය. ළහිරු තම පන්දුවාර 4 දී ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තේය.
පළමු පන්දුවාර 2 යැවීමෙන් පසු නුවන් ප්‍රදීප් පිටියෙන් ඉවත්වූ නමුත් ළහිරුට එක්වූ චාමික තවත් කඩුලු 2 ක් දවා ගනිමින් ඕමාන් ඉනිමේ දැවී ගිය කඩුලු 8 ම වේග පන්දු යවන්නන්ගේ නම් ඉදිරියෙන් සටහන් කිරීමට සහයෝගයක් ලබා දුන්නේය. වේග පන්දු යවන්නන් කඩුලු දවා ගන්නා අතරතුරදී ඉනිමේ අවසන් භාගයේදී වේගයෙන් ලකුණු රැස් කළ මොහොමඩ් නදීම් සහ නසීම් කෞෂි පන්දු 26 කදී ලකුණු 46 ක් එක් කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. වේගවත් පිතිහරඹයක නිරත වූ කෞෂි පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟ ලකුණු 40 ක් රැස් කරගත්තේය.
නියමිත පන්දුවාර 20 අවසනදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 162 ක් ලෙසින් දිස් වුවද පළමු කඩුලු 2 බිඳ වැටුණේ දෙවැනි පන්දුවාරයේදීය. ඒ දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් පිට පිට පන්දු දෙකකදී දැවී යෑම හේතුවෙනි. ආරම්භක පිතිකරුවකු ලෙසින් පිටියට පිවිසි පැතුම් නිස්සංක ද ලකුණු 8 කදී වගකීම් විරහිත පහරක් එල්ල කරමින් කඩුල්ල අහිමිකර ගන්නා විට තරගයේ පාලනය මුලු මනින්ම ඕමාන් පන්දු යවන්නන් සසතුවිය.
එහෙත් මැද පෙළ පිතිකරුවකු ලෙසින් පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු ආරම්භය බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ලකුණින් ලකුණු ගොඩනංවන ලද්දේ කිසිදු කලබලයකින් තොරවය. එහිදී පළමු ලකුණු 33 රැස් කර ගැනීම සඳහා පන්දු 36 ක් වැය කළ අවිෂ්ක අවසන් පන්දුවාර 7 දී සිය ප්‍රහාරාත්මක පිති හරඹය දියත් කළේය. ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කලමනාකාරීත්වය අපේක්ෂා කරන ලද වෙනස බවට පත්වූ මැද පෙළ පිතිකරුවකුගේ සේවයේ වගකීම අකුරටම ඉටු කළ දකුණත් පිතිකරුවා පන්දුවාර 20 අවසන් වන විට සිය ඉනිම නොබිඳී පවත්වා ගත්තේ පන්දු 59 කදී ලකුණු 83 ක් ලබා ගනිමිනි. ඊට එල්ල කරන ලද දැවැන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
ඔහුට වඩා වැඩි වේගයකින් ලකුණු ලබාගැනීමේ වේගයක්න්දු රඳවා ගනිමින් පන්වදුවට පහර දුන් නායක දසුන් ශානක අවසන් පන්දුවේ එල්ල කරන ලද හතරේ පහරත් සමඟ අර්ධ ශතකය සටහන් කර ගත්තේය. අර්ධ ශතකය ලබා ගැනීම සනිටුහන් කිරීම වස් දසුන් සිය පිත්ත ඉහළට ඔසවන විට හයේ පහර 5 ක් සහ තවත් හතරේ පහර 2 ක් ඉනිමට ඇතුළත් කර තිබුණි. ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට දසුන්ගේ ඉනිම සටහන් වූයේ පන්දු 24 කදී ලකුණු 51 ක් ලෙසිනි.
ඉදිරි පෙළ කඩුලු 4 ක් දවා ගනිමින් පිටියේ වැඩි විශ්වාසයක් ගොඩ නඟාගෙන සිටි ඕමාන පන්දු යවන්නන්ව තඹේකට මායිම් නොකළ දකුණත් පිතිකරුවන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද නොබිඳණු ලකුණු 111 ක සම්බන්ධතාව සඳහා පන්දු 56 ක් පමණක් වැය කළහ.
දෙරට අතර පැවැත්වෙන මීළඟ විස්සයි-20 නිල නොවන තරගය ඔක්තෝබර් 09 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.00 ට ආරම්භ වනු ඇත.
T20 உலகக் கிண்ணப் போட்டிக்கு முன்னதாக நடைபெற்ற நட்பு ரீதியான T20 போட்டியில் ஓமானுக்கு எதிராக சிறப்பான ஆட்டத்தை வெளிப்படுத்தி ஸ்தீரத்தன்மையான வெற்றியை இலங்கை அணி சுவீகரித்துக்கொண்டுள்ளது. இவ்வெற்றிக்கு எமது கிரிக்கெட் அணிக்கு வாழ்த்துக்களை தெரிவிப்பதுடன் இதே உத்வேகத்துடனும் தன்னம்பிக்கையுடனும் இறுதிப்போட்டி வரை களம் காண்பர் என்பதும் உறுதி. எமது கிரிக்கெட் அணிக்கு முன்கூட்டிய வாழ்த்துக்கள்.
Sri Lanka secure a convincing victory against Oman in the first Friendly T20 game ahead of the T20 World Cup. We wish our team good luck and hope this winning momentum carries on till the end. Well done @Sri Lanka cricket!
#SriLankaCan#ජයගමු#FitSriLanka#cricket#slvsoman#lankanlions
