LPL පළමු ජය “Colombo Kings” කණ්ඩායමට

0
537

මෙරට ක්‍රිකට් වංශකතාවේ නව පරිච්චේදයක් සනිටුහන් කරමින් ඊයේ ආරම්භ වූ LPL තරඟාවලියේ පළමු තරඟයේ ජය සුපිරි පන්දුවාරයෙන් තමන් සතු කරගැනීමට Colombo Kings කණ්ඩායම සමත් වුනා.

කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් (Kandy Tuskers) සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කොලොම්බු කින්ග්ස් (Colombo Kings) කණ්ඩායම ඊයේ පළමු තරඟය ආරම්භ කරමින් පිටියට පිවිසියා.

කාසිය වාසිය දිනාගත් ඇන්ජලෝ පළමුව පන්දු යැවීම තෝරා ගන්නා ලදී.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ කුසල් ජනිත් සමඟින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රහමදුල්ලා ගුර්බාස් ය.

ප්‍රබල ආරම්භයක් ගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන නියෝජනය කරමින් ලංකා ප්‍රිමියර් ලීග් වෙත පැමිණි යෞවන් වියේ පසුවන රහමදුල්ලා ගුර්බාස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 53 (22)ක් ලබාගන්නේ 04 පහර 6ක් සහ 06 පහර 4ක් සමඟිනි.

ඔහුගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකානු සුපිරි පිතිකරු වන කුසල් ජනිත් ක්‍රියාත්මක වූ අතර සිය 20-20 ක්‍රීඩා පිටියේ හොඳම ලකුණු ලබා ගැනීම ලෙස ලකුණු 87 (52) ක් ලබා ගන්නා අතර එයට 06 පහර 4ක් සහ 04 පහර 9ක් ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 30 (24)ක් ද, අසේල ගුණරත්න 33 (20)ක් ලබා ගැනීමට සමත් විය.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී එම්.ගෝනි පන්දුවාර 04යි ලකුණු 42කට 1 කඩුල්ලක් ද, දුෂ්මන්ත චමීර පන්දුවාර 04යි ලකුණු 58කට 1 කඩුල්ලක්ද, කම්වාල් පන්දුවාර 03යි ලකුණු 28කට 1 කඩුල්ලක්ද බිඳ හෙලීය.

ඒ අනුව නුවර කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කර ගැනීමට සමත් වූ අතර කොළඹ කණ්ඩායමට ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හිමි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායමද ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර එහිදී දිනේෂ් චන්දිමාල් 80 (46)ක් ලබාගන්නේ 04 පහර 12ක් සහ 06 පහර 2ක් සමඟිනි.

කඩුළු කිහිපයක් ඉක්මණින් බිඳ වැටීමත් සමඟ කොළඹ කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය මන්දගාමී වුවත් අවසන් පන්දුවාර කිහිපය තුළ ක්‍රියාත්මක වූ ඉසුරු උදාන 34(12) ක් ලබා ගන්නේ 06 පහර 04ක් සමඟිනි.

ඒ අනුව කොළඹ කණ්ඩායමද පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 219ක් ලබා ගැනීමට සමත් විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ත්‍රාසය ප්‍රේක්ෂකයාට සිහි කරමින් තරගයේ ජයග්‍රාහකයා තේරීම සුපිරි පන්දුවාරයක තීරණය විය.

සුපිරි පන්දුවාරයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම පන්දුවාරය තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා ගැනීමට සමත් විය. නමුත් නුවර කණ්ඩායමට එම ඉලක්කය සුපිරි පන්දුවාරය තුළ ලබා ගැනීමට නොහැකි වූ අතර තරගයේ ජයග්‍රහණය කොළඹ කණ්ඩායමට හිමි විය.

තරගයේ වීරයා ලෙස දිනේෂ් චන්දිමාල් තේරීපත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here